රට භාරගන්න කියද්දී ඇතැම් අය කේන්දර බැලුවා ඇතැම් අය ලිස්සා ගියා – ජනාධිපති වික්‍රමසිංහ

පසුගිය වසරේ තමන් භාර ගත්තේ ගිනි ගොඩක් තිබූ රටක් බවත් එවැනි පසුබිමක රට භාර ගන්න කිසිවෙකුත් ඉදිරිපත් නොවුණ බවත් ඇතැම් අය කේන්දර බැලූ බවත් ඇතැම් අය ලිස්සා ගිය බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

තමන් රට භාර ගත්තේ කිසිම කොන්දේසියක් ඉදිරිපත් නොකර බවයි. තමන්ට කිසිවක් නොතිබුණ බවත් තමන්ට තිබුණේ රට ගොඩනගැගීමේ විශ්වාසය බවත් ඔහු පැවැසීය.

හෙතෙම එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමග එළඹී එකගතා පිළිබඳ ලේඛනය ජනාධිපති වික්‍රමසිංහ එහිදී සභාගත කළේය.

” 2015 මම රට භාර ගත්තේ ආර්ථික වශයෙන් දුර්වල රටක්. නමුත් 2018 වන විට ප්‍රථමික ගිණුමේ අතිරික්තයක් ඇති කරන්න හැකිවුණා. විවධ සහන දෙන ගමන්, වැටුප් සියයට 16කින් වැඩි කළා.

මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස අනුව මම රට භාර ගත්තා. අයි.එම්.එෆ්. ණය ලැබුණවිට තරුණ තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට හැකියාව තිබෙනවා. රට ඔසවා තබන්න හැකියාව තිබෙනවා.

වසර හතරක කාලයක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් අපිට ලැබෙනවා. ඇමෙරිකානු ඩොලර් මිලියන 330ක් දැන් අපිට ලැබී තිබෙනවා.”

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

” ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අරමුදල ණය පහසුකම යනු ගිනි පොලියට ගන්නා තවත් ණයක් බව අර්ථ දක්වන පිරිසක් ඉන්නවා. දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ඔවුන් මෙය ප්‍රකාශ කරනවා යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.

‘‘විපක්ෂය කිසිවිටෙක සහයක් දුන්නේ නැහැ‘‘

රට ගොඩනැගීමේ ගමනට කිසිවිටෙක විපක්ෂයේ සහය ලැබුණේ නැතැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී පැවසීය.

“අසීරු ගමන සීරුවෙන් යමු. අපගේ මුලික අරමුණ වන්නේ රට ගොඩනැගීම පමණයි. එ හෙම හිතුවොත් වඩා කඩිනමින් හා සාර්ථකව ගමන යා හැකියි.

ඉදිරි වසර 10 තුළ මෙතෙක් ගෙන ඇති සියලු ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ මාර්ගයේ දිගටම ගියොත් ඒ තත්ත්වය උදාකර ගත හැකි බව මට විශ්වාසයි. ඒ මාර්ගයේ ගියොත් 2048 දී ලංකාව ලෝකයේ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කර ගත හැකියි.

”මා අගමැති වූ විට විපක්ෂයේ සහාය ඉල්ලා සිටියත් ලැබුනේ නැහැ. අයවැය විවාද අවස්ථාවේදීත් සහාය දුන්නේ නැහැ. පාර්ලිමේන්තු සැසිය විවෘත කරන විටත් සහය බල්ලුවත් සහාය දුන්නේ නැහැ. ඒ අවස්ථාවල විවිධ හේතු කියමින් සහය දීම ප්‍රතික්ෂේප කළා. මගේ අරමුණ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ නැගීම නොව රාජපක්ෂලා ගොඩ ගැනීම බව විපක්ෂය කිව්වා. ශ්‍රී ලංකා මාතාව අසීරු වැල් පාලමෙන් ගොඩට ගත් බව ජාත්‍යන්තරය පවා දැන් පිළිගෙන තිබෙනවා. අතීත වැරදි යළි සිදු නොවන පරිදි නීතිරීති සකස් කරමින් අනාගතය ගොඩනගන්න කටයුතු කරනවා.

දැන්වත් මේ රට ගොඩනගන්න එකතු වෙන්නයි කියනවා.” ජනාධිපතිවරයා විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.

බදු ප්‍රතිපත්තියේ සිදුවන වෙනස්කම්

IMF විස්තීර්ණ මුල්‍ය පහසුකම මගින් වැටුණු රටක් යළි යථාතත්ත්වයට පත්කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශයේදී අවධාරණය කර සිටියේය.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එම පහසුකම ලැබීමෙන් ජාත්‍යන්තරයේ නැවතත් ශ්‍රී ලංකාවට පිළිගැනීමක් හිමිවන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ඉදිරි ගමනේ දී රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතු බවය.

ඒ සඳහා වූ ඇතැම් කාරණා පසුගිය අයවැය තුළින් යෝජනා කර මේ වනවිට ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා අනාගතයේ දී සිදුකිරීමට නියමිත එවැනි ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙලෙස අදහස් පළ කළේය.

රජයේ ආදායම වැඩිකර ගැනීමේ සැලසුම….

2025 වනවිට ප්‍රාථමික හිඟය 2.3ක් බවට පත්කර ගැනීම.

රාජ්‍ය ආදායම 2026 දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩි කරගැනීම.

ආංශික බදු සහන නොමැතිව ආදායම් බදු අනුපාතය 30%ක් දක්වා වැඩි කර තිබෙනවා.

වැට් බදු අනුපාතය 8% – 15% දක්වා වැඩි කිරීමට පියවර ගත්තා.

වැට් බදු සඳහා ලබාදී ඇති නිදහස් කිරීමේ බද්ද ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම, SVAT ක්‍රමය අහෝසි කිරීමට පියවර.

2025 දී අවම බදු නිදහස් කිරීම සහිතව දේපළ බදු ක්‍රමය වෙනුවට ධන බද්දක්.

තෑගී හා බූදල් බද්දක් හඳුන්වා දේ.

” මම භාරගත්තේ ගිනිගත් රටක් ”

“මම පසුගිය ජූලි 9 වනදා භාරගත්තේ ගිනි ගත් රටක්. අවුලෙන් අවුලට පත්වු රටක්. හෙට දවස ගැන අඹමල් රේණුවක බලාපොරොත්තුවක් නැති රටක්. නිල වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළ රටක්. උද්ධමනය 73%ක් දක්වා ප්‍රකාශ කළ රටක්. ඉන්ධන, ගෑස් පෝලිම්වල ජනතාව දවස් ගණන් දුක්විඳින රටක්. පාසල් වැහිච්ච රටක්. දවසකට පැය 10 – 12ක් විදුලිය කප්පාදු කළ රටක්. ගොවීන් ට වගා කරන්න පොහොර නැති රටක්. නීතිය හා සාමය වල්වැදුණු රටක්. ආණ්ඩුවේ කාර්යාල බලහත්කාරයෙන් අල්ලාගෙන පිටස්තරයින් පදිංචිවෙලා හිටිය රටක්. මැර කණ්ඩායම් තැන තැන පහරදීම් කළ රටක්. ප්‍රතිවාදීන්ගේ ගෙවල් ගිනි තියන රටක්. මහදවල් මිනිස්සු මරාදාපු රටක්.

මෙවැනි පසුබිමක වගකීම භාරගන්න කවුරුත් කැමති වුණේ නෑ. සමහරු පස්ස ගැහුවා. සමහරු කේන්දරය බලන්න කල්ඉල්ලුවා. සමහරු ලිස්සලා ගියා. සමහරු බය වුණා. මගෙන් ඉල්ලීම කළේ කවුරුත් වගකීම භාරගන්න ඉදිරිපත් නොවුණ අවස්ථාවක. මම කිසිම කොන්දේසියක් නැතිව අභියෝගය භාරගත්තා. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නෑ. මට මන්ත්‍රීවරු හිටියේ නෑ. මට තිබුණේ එකම ශක්තියයි ඒ මම ඉපදුන, හැදුන, වැඩුන මගේ ආදරණීය රට ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය විතරයි.

මේ බරපතළ අභියෝගය භාරගනිද්දි මා සතුව තිබුණේ අතීත අත්දැකීම් මතින් ගොඩනගාගත් විශ්වාසය පමණයි. මම වැටුණත් රට වැටෙන්නේ නෑ කියන අදහස ඇතිව මම අභියෝගය භාරගත්තා…”

මේ එකඟතාවය නිසා මූල්‍ය විනය නීතිගත වෙනවා…

දුෂණ වංචා පිටුදැකීමේ අලුත් නීති ඇතිවෙනවා

රට අකර්මන්‍ය කරන්න සමහරු උත්සාහ ගත්තා

ජනතාව පාරට දාන්න දඟ දැම්මා

IMF එකඟතාවය ලබාගැනීමට ජනතාවගේ කැපවීම විශාල ශක්තියක් වුණා…

මේ රටේ ජනතාවට මගේ ප්‍රණාමය…

ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුයි. මේක අලුත් ගමනක් ” ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Latest News

More like this

යෝජිත විදුලි පනත සම්මතයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

යෝජිත විදුලි බල පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

එජා මානව හිමිකම් මහ කොමසාරිස්ට වැරදීමක්.. සමලිංගික විවාහ නීති ගත කරන පනත් කෙටුම්පතක් ගෙනත් නැහැ..

ශ්‍රී ලංකාවේ සමලිංගික විවාහ නීතිගත කිරීම සඳහා පනත් කෙටුම්පතක්...

චීන වවුලගෙන් පැතිරෙන බ්‍රෑන්ඩ් නිව් වෛරස 20ක් සොයාගනී

චීනයේ වවුලන්ගේ වකුගඩු ආශ්‍රිතව කරනු ලැබූ පර්යේෂණයකින් මිනිසුන්ට ආසාදනය...

ඉන්දුනීසියවේ ගරූඩා ගුවන් සමාගමට අයත් යානයක කාර්ය මණ්ඩලයේම සේවය අත්හිටුවයි

මගියෙකුගේ නැතිවූ ජංගම දුරකතනයක් ගුවන් සේවා කාර්ය මණ්ඩලය රැඳී...
error: Content is protected !!