පසුගිය මැයි 01 වෙනිදා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා වීසා නිකුත් කිරීම VFS සමාගමට භාරදී තිබූ නමුත් දින කිහිපයක් අඛණ්ඩව එම සමාගම හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව එම ක්‍රියාවලිය කර ගෙන යාමට සැලසුම් කර තිබූ අතර එය සැලසුම් කළ ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම නිසා පසුගිය දින සිදුවූ උණුසුම් වාතාවරණය නිර්මාණය වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අදාළ සමාගමට එම ක්‍රියාවලිය කරගෙන යාම සඳහා Wi-Fi පහසුකම් ඇතුළු අනතර්ජාල පහසුකම් නිසි පරිදි ලබා දී නොතිබීම නිසා මෙම තත්ත්වය මතු වූ බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔවුන්ගේ පද්ධතිය ක්‍රියාවිරහිත කර මෙහෙයුම් තනිව සිදු කරගෙන යාමට අදාළ සමාගමට ඉඩ ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
තවද පසුගියදා කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී ශ්‍රී ලංකා මගියෙකුගේ හැසිරීම සම්බන්ධ ආන්දෝලනාත්මක වීඩියෝව හරහා ඔහු මෙම ආයතනය ඉන්දීය ආයතනයක් බව ප්‍රකාශ කළත් එය බැහැර කරමින් අමාත්‍යවරයා පැවසුවේ VFS ආයතනය Black Stone සමූහයට වැඩි වශයෙන් කොටස් අයත් ජාත්‍යන්තර ආයතනයක් බවයි.
එම අවස්ථාවේ දී එම වීසා කවුන්ටරවල සේවකයන් ලෙස කටයුතු කර ඇත්තේ ශ්‍රී ලාංකිකයන් 13 දෙනෙකු බව සඳහන් කළ අමාත්‍යවරයා එම අවස්ථාවේ යම් කිසි කඩකප්පල්කාරි ක්‍රියාවක් සිදුව ඇත්ද යන්න සොයා බලන බවත් ඔවුන්ගේ නම් ගම් ද තමා සතු බව සඳහන් කළා.
මතුව ඇති වීසා ගැටලුව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
VFS ආයතනයට වීසා නිකුත් කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගත නොහැකි බව පැවසු අලස් මහතා වීසා නිකුත් කිරීම සහ බැහැර කිරීම සම්බන්ධ තීරණ ගනු ලබන්නේ මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ම පමණක් බව පැවසුවා.
අමාත්‍යවරයා මෙම මාධ්‍ය හමුවේ දී පවසා සිටියේ මෙම කටයුත්ත සම්බන්ධයෙන් විරෝධතාව ඉකුත් මැයි පළමු වැනිදා හෝ ඊට ආසන්න දිනක දී මතු වුවත්, ගුවන්තොටුපොළ පරිශ්‍රයේ VFS ආයතනය විසින් සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ පසුගිය අප්‍රෙල් 17 වැනිදා බවයි.