මාළඹේ පිහිටි පෞද්ගලික පාසලක් වන සසෙක්ස් පාසලේ පාසල් වාර ගාස්තු කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව ඉහල දමා ඇති බැවින් මව්පියන් දැඩි අපහසුතාවකට හා අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.
මාපියන් පවසන ආකාරයට මෙවර දෙවන වාරයේ සිට පාසල් වාර ගාස්තුව රුපියල් 10,000කින් ඉහල දමා ඇති බවයි පැවසෙන්නේ.
මේ පිළිබඳව මැයි මස 02 වන දින පැවති දෙමාපිය රැස්වීමේ දී සාකච්ඡා කර ඇති අතර පූර්ව දැනුම් දීමකින් තොරව මෙලෙස ගාස්තු ඉහල නැංවීම සසෙක්ස් පාලනාධිකාරිය යලි සකලා බැලිය යුතු බව දෙමව්පියන් පවසනවා.
“සසෙක්ස් පාසල් ජාලයේ සියලුම පාසල් වලට දරුවන් එවන දෙමාපියන් කියන්නේ ඉහල ආදායම් ලබන අය නෙමෙයි. ඇත්තටම මේ දෙමාපියන් බොහෝ දෙනා මධ්‍යම පාන්තිකයන් වන අතර ඒ තීරුවේ මැද හෝ පහල ආදායම් උපයන්නන්. අපි අපේ දරුවන්ව මේ වගේ පෞද්ගලික පාසල් වලට එවන්නේ ඒ අයට යන්න වෙනත් රජයේ පාසලක් නැති නිසා.
මොකද මේ විදිහේ පෞද්ගලික පාසල් වලට දරුවෝ යවන්නේ පිටතින් අගනගරයට හෝ ඒ ආසන්න ප්‍රදේශවල රජයේ හෝ පෞද්ගලික අංශයේ රකියාවලට ආපු අය. අපි බොහෝ දෙනාට අපේ දරුවන්ව රජයේ පාසල්වලට යවා ගන්න බැහැ. රජයේ පාසල් ඉල්ලන සුදුසුකම සපුරන්න අපිට හැකියාවක් නැහැ. පදිංචි කාලය, පදිංචි ඉඩමේ හිමිකම්, දරුවන් හෝ දෙමාපියන් උපන් ස්ථාන සහ දෙමාපියන් අධ්‍යාපනය ලැබූ පාසල් කියන තොරතුරු සලකා බලලා තමයි දරුවෙක්ව රජයේ පාසල්වලට ඇතුලත් කරගන්නේ. අපිට ඒ සුදුසුකම් නැහැ. එහෙම වුනහම අපේ දරුවන්ට රජයේ පාසල් වරම් නැහැ.
ඒ නිසා අපි කරන්නේ ආසන්නම පෞද්ගලික පාසලකට අපේ දරුවන්ව ඇතුලත් කරන එක. එහෙම නැතුව ඇති තරම් සල්ලි තියෙන නිසා හෝ ලොකුකම නිසා අපි අපේ දරුවන්ව මේ වගේ පාසල්වලට එවන්නේ නැහැ.
අනෙක් අතට අපි දන්නවා මේ වගේ පෞද්ගලික පාසල්වල ඉගැන්වීම එතරම් ම ප්‍රමිතියකට නැති බව. ඒත් කරන්න දෙයක් නැති නිසා අපි මේ වගේ පාසල් තෝර ගන්නවා.
මාලබේ සසෙක්ස් එකේ ඇතුලත්වීමේ ගාස්තුව ලක්ෂ දෙකක්. දැනට පළමු වාර ගාස්තුව රුපියල් 4,000ක්. දැන් දෙවන වාරයේ පටන් ඒක 14,000ක් වෙනවා. මේ වාර ගාස්තුවට අමතරව වාර්ෂික ක්‍රීඩා තරග සඳහා රු. 6000ක ඉඳන් රු. 8000ක් දක්වා වියදම් කරන්න ඕනේ. වාර්ෂික ප්‍රසංග සඳහාත් එවැනි ගාණක් වැය කරන්න ඕනේ.
ඊට අමතරව වාර විභාග ගාස්තු, පෙළ පොත්, ලිපි ලේඛන, අවුරුදු උත්සවය, වෙසක් සහ නත්තල් උත්සව, ක්‍රීඩා පහසුකම්, ක්‍රීඩා පිටි ගාස්තු සහ අනෙකුත් සියලුම පාසල් ඉසව් වෙනුවෙන් මේ දමාපියන් වියදම් කරන්නේ ඉතාමත් අසීරුවෙන්.
ඒ වියදම් අපි අපේ ආදායම් සමඟ කොහොමහරි කලමනාකරණය කරගන්නවා. හැබැයි හදිසියේ ආයතන පාලනාධිකාරිය කළ මේ හදිසි වාර ගාස්තු වැඩිවීමත් සමඟ බොහෝ දෙමව්පියන් අසරණ වෙනවා. අස්ථාවර වෙනවා.
අපි බොහෝ දෙනෙකුගේ මාසික වැටුප් හා දීමනා දැන් තියෙන්නේ උපරිම ලෙස කප්පාදු කරලා. අපිට වැටුප් වැඩිවීම නැහැ. ජීවන වියදම් ඉහල ගිහිල්ලා. එහෙම තත්වයක දී දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් 10,000ක් අමතරව වෙන්කිරීම කරගන්න බැහැ. දරුවෝ තුන් හතර දෙනා මාලබේ සසෙක්ස් එකට එවන දෙමව්පියන් ඉන්නවා. ඒ ඇය බරපතල විදිහල අසීරුවට පත්වෙලා.
අපිට මේ ගැන කියන්න ලියන්න ආයතනයක් නැහැ. පෞද්ගලික පාසල් කියන්නේ හිතුවක්කාරී විදිහට ලාභ උපයන ආයතන. ඒ නිසයි මේ ගැටලුව ගැන මාධ්‍යට කියන්නේ” මෙම ගාස්තු ඉහල නැංවීම ගැන පවසන දෙමාපියන් සඳහන් කරනවා.
මෙලෙස ගාස්තු ඉහල දැමීම පිළිබඳව මාලබේ සසෙක්ස් පෞද්ගලික විද්‍යාලය ඇමතූ විට දුරකතනයට පිළිතුරු දුන් අයෙකු පවසා සිටියේ ගාස්තු ඉහල දැමීම පිළිබඳව තමන්ට කිසිවක් කිව නොහැකි බවයි. එය සසෙක්ස් පාසල් ජාලයේ ඉහල කළමනාකාරිත්වය විසින් ගනු ලැබූ තීරණයක් බවයි ඔහු සඳහන් කළේ.