පරම්පරාවෙන් පරම්පරාවට තාත්තගෙන් පුතාට මාරුවන දේශපාලන සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් එක් වතාවක් හෝ පොදු ජනතාවගේ ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතු බවත් ඒ සඳහා ගමක් ගමක් පාසා ජනතාව රොඳ බැඳ ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.
එම වෙනස සිදු කිරීම සඳහා ගම්වල ඡන්ද පෙට්ටි මළිමා ඡන්දවලින් පුරවන වැඩසටහන මැයි 15 වැනි දා සිට ජුනි 30 දක්වා දින 45 ක කාලයක දී ආරම්භ කරන බව ඔහු පවසනවා.
ඔහු මේ බවහෙළි කරනු ලැබුවේ ඊයේ (30) විශාල ජනතා සහභාගිත්වයකින් යුතුව පැවති හඟුරන්කෙත ගොවි රැළිය අමතමිනි.
“ඔබ, ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවේ කතිර ගහලා පුරවන්න සැලසුම් කරන්න ඕන. අපි මැයි 15 සිට ජුනි 30 දක්වා දින 45ක වැඩපිළිවෙළක් හදා තිබෙනවා. හැම ගෙදරකටම යන්න ඕන. ඡන්දෙ සටහන් කර ගන්න. තාමත් වැරදි පාරේ යන අයට කතා කරන්න ඕන. ගම් පිටින් පොර බදමින් ගම් වෙනස් කරන වැඬේ කරන්න ඕන. අපේ ගම්වල ජනතාවගේ ජීවිත මීට වඩා හොඳ ජීවිත බවට පත්කරන්න ඕන. ග්‍රාමීය දුප්පත්භාවය අපි අවසන් කරන්න ඕන. දුප්පත්කම කියන්නේ, ආහාර වේලක් නැතිකම, බෙහෙතක් ගන්න නැතිකම විතරක් නෙවෙයි. දුප්පත්කම නිසා සමාජයේ නොසැලකිල්ලක් තිබෙනවා. දුප්පත් කෙනෙක් බැංකුවකට, පොලීසියට ගියාම සලකන්නෙ වෙනස් ආකාරයකට. දුප්පත් දරුවෙක් පාසලක ඉගෙන ගන්නකොට, බස් එකට නැංඟම වෙනසක් තිබෙනවා. දුප්පතත්කම නිසා සමාජයේ පිළිගැනීමක් නැහැ. එහෙම නම් අපි ආර්ථික වශයෙන් පොහොසත් වෙන්න ඕන, සමාජීය වශයෙන් පොහොසත් වෙන්නත් ඕන. ගම්වල ජනතාවගේ ආර්ථික තත්වය දියුණු කිරීමත්, ඔවුන්ගේ සමාජ තත්වය දියුණු කිරීමත් තමයි ජාතික ජන බලවේගයේ වැඩපිළවෙළ වෙලා තිබෙන්නේ.
ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කළ යුතුයි කියා හැඟීමක් තිබෙන, ආණ්ඩුවකුයි අපට ගොඩනඟන්න තිබෙන්නේ. ඒක තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපිට ඉතා හොඳ අවස්ථාවක් ඇවිත් තිබෙනවා. මොන වංගු ගැහුවත් කළබල වෙන්න එපා. හිටපු ගමන් පාර්ලිමේන්තුව විසුරවා හරිනවා කියනවා, ඡන්දෙ නැහැ කියනවා, තව අවුරුදු පහක් දෙමු කියනවා, සැප්තැම්බර් 17 පසුවෙලා, ඔක්තෝම්බර් 16ට කලින් ජනාධිපති ඡන්දෙ තියනවාමයි. අපේ ජීවිත කාලයේ ගතකරමින් තිබෙන වැදගත්ම මාස හතරක් මේ තිබෙන්නේ. මේ දේශපාලන පරිවර්තනය කිරීම සඳහා සියලු දෙනාම මැදිහත්වෙලා වැඩ කරන්න ඕන. එක්සත් ජාතික පාක්ෂිකයා, පොහොට්ටුවේ පාක්ෂිකයා, සමගි ජන බලවේගය කියා අත්හරින්න එපා. එයාලාට තේරුම් කරදෙන්න. වෙනස් වෙන්න කියා ආරාධනා කරන්න. අපි කොට්ඨාස සභා හදලා තිබෙනවා. ගමේ ඡන්ද පෙට්ටිය මාලිමාවේ වැඩිම ඡන්ද පෙට්ටිය බවට පත්කර ගන්න, හැම කෙනාම හමුවෙන්න. දැන් බැටන් එක තිබෙන්නේ ඕගොල්ලන්ගේ අතේ. මේ රැස්වීම සාර්ථක කරගන්න මේ සහෝදර, සහෝදරියන් විශාල කැපකිරීමක් කළා. මේ පිට්ටනිය උතුරලා යමින් පෙන්නුම් කරන්නේ ඔබලාගේ ශක්තියේ, මහන්සියේ, මැදිහත්වීමේ ප්‍රතිඵල. මේ මාස හතර මහන්සිවෙලා වැඩ කරමු. අපි ලොකුම ප්‍රතිඵලය පොළොන්නරුවෙන් බලාපොරොත්තු වෙනවා”