මීගොඩ, ගොඩගම ප්‍රදේශයේදී මෝටර් රථයක් කලටුවාව ජල නළයේ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් තම මණ්ඩලයට රුපියල් මිලියන 15ක පමණ අලාභයක් සිදුව ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම් හා නඩත්තු) කුමුදු විජේගුණවර්ධන මහතා පවසා තිබෙනවා.
අදාළ අනතුර නිසාවෙන් නළ මාර්ගය පිළිසකර කිරීමට වැය වූ මිලියන 15 ක අලාභය අනතුර සිදු කළ මෝටර් රථයේ හිමිකරුගේ පෞද්ගලික මුදලින් හෝ මෝටර් රථයෙහි රක්ෂණ ආයතනයෙන් ලබා ගැනීම සඳහා ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බව ද ඒ මහතා පවසනවා.
ජලය ලබාදීම අත්හිටුවීමට සිදු වීම නිසා ජල පාරිභෝගික පවුල් ඒකක ලක්ෂයකට වැඩි පිරිසකට අසීරුතාවට පත් වීමට සිදු වුණා.
කෙසේ වුවද කාලගුණික තත්ත්වයන් යහපත් අයුරින් පැවතුණහොත් අද (18) දින අලුයම වන විට නළ ජලය පාරිභෝගිකයන් වෙත ලබා දීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ජලය අත්හිටුවීම නිසාවෙන් පීඩා විඳින රෝහල් සඳහා ජල බවුසර් යොදා ගෙන ජලය ලබා දීමට කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා.
හයිලෙවල් මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ඊයේ (17) අලුයම 2 ට පමණ ගොඩගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන කලටුවාව සිට මහරගම දක්වා පානීය ජලය රැගෙන යන විශාල ජල නළයක් මතට වැටීමෙන් එම ප්‍රදේශයේ ජනතාව වතුර නැතිව දැඩි අසීරුතාවකට පත් වුණා.
අනතුර සිදුවන අවස්ථාවේදී අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ මෙම මෝටර් රථය, තුළ පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර අනතුරෙන් ඔවුන් දෙදෙනා සුළු තුවාල ලබා හෝමාගම රෝහල් ගත කර ඇතැයි පොලිසිය පවසනවා.