සැටලයිට් යන්ත්‍රයට කාන්දමක් සවිකර සෝමාලියානු මුහුදු මංකොල්ලකරුවන්ට උතුර දකුණ මාරුකර මරුකටෙන් ගැලවුණු ලංකාවේ ධීවර කොල්ලෝ

පසුගිය ජනවාරි මස 27 වැනිදා සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව සී ෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය මගින් මුදාගත් ශ්‍රී ලාංකික ධීවරයන් හය දෙනා පෙරේදා (23 වැනිදා) වත්තල, දික්ඕවිට වරායෙන් යළි මෙරටට ළඟා වීමට තරම් වාසනාවන්ත වුණා.

හලාවත, තොඩුවාව හා කල්පිටියේ පදිංචි ධීවරයන් හය දෙනකු රැගත් ලොරොන්සෝ පුතා හතර බහුදින ධීවර යාත්‍රාව වත්තල, දික්ඕවිට ධීවර වරායෙන් මංගල ගමන ඇරැඹුවේ පසුගිය ජනවාරි 12 වැනිදාය.

ධීවර වරායේ සිට නාවුක සැතපුම් 1,160ක් ඈතින් වූ මුහුදු ප්‍රදේශයේ දී සෝමාලියානු කොල්ලකරුවන් ගේ ග්‍රහණයට හසුව තිබුණේ ජනවාරි 27 වැනිදායි.

”අපි ධීවරයෝ හය දෙනෙක් යාත්‍රාවේ හිටියා. එක පන්නරයක් ගහලා මාළු කිලෝ හයසියයක් විතර අස්වැන්නක් අරන් අපි අරාබි මුහුදු සීමාවේ දෙවන පන්නරය එලලයි තිබුණේ. එක්වරම බෝට්ටුවකින් දස දෙනෙක් විතර ආවා වටේට වෙඩි තියාගෙන. ඔවුන් අපේ යාත්‍රාව නතර කරගත්තා.

පසුව එයාලගෙන් තුන් දෙනෙක් අපේ බෝට්ටුවට නැගලා අපිට යටත් වෙන්න කියලා හස්ත සංඥා දුන්නා. ඒ එක්කම වටේටම වෙඩි තියලා සැටලයිට් යන්ත්‍රය ඉල්ලුවා. අපිට සැටලයිට් දෙන්නේ නැහැ තහනම් කීවත් එය නොපිළිගත්ත ඒ කොල්ලකරුවෝ අපිව දණ ගස්සලා පහර දුන්නා ඒක ලබාදෙන්න කියලා. උන් අපි කියන එක විශ්වාස කළේ මගේ ගෙල පැළඳ තිබූ කුරුසය හිස මත තියා පොරොන්දු වී අපි ගාව සැටලයිට් නැහැ කී පසුව” යැයි මෙම යාත්‍රාවේ ක්‍රියාකරු ලෙස කටයුතු කළ රකිත දුෂාන් (35) පවසනවා.

”අපිව අහුවුණු සීමාවේ ඉඳලා සෝමාලියාවට නාවුක සැතපුම් දහසකට ආසන්න දුරක් තිබුණා. සෝමාලියාව දිශාවට යන්න නම් සැටලයිට් යන්ත්‍රය හරවන්න ඕන අංශක තුන්සියයකින්. මේ අයගේ කීම මත මම අංශක තුන්සියයකට යාත්‍රාව හරවලා ඉස්සරහට අරගෙන ගියත් මට තේරුම් ගියා මොවුන්ට සැටලයිට් ගැන දැනුමක් නැහැ කියලා. මේ හින්දා සූක්ෂම විදිහට සැටලයිට් යන්ත්‍රයට මම කාන්දමක් සවි කරලා අංශක 210කට දිශාව වෙනස් කළා. ඒක එයාලට අංශක තුන්සියයක් විදිහට පෙන්නුම් කළත් අපි ගියේ අංශක 210කට හරවලා සී ෂෙල්ස් පැත්තට වෙන්නයි.

අපි මුහුදු කොල්ලකරුවන්ට හසුවූ පුවත අපිත් එක්ක මුහුදු ආව ලොරොන්සෝ පුතා 02 යාත්‍රාවට රේඩියෝ මගින් දැනුම් දුන්නා. පසුව ඔවුන් ඒ ගැන කොළඹ පිහිටි සන්නිවේදන මධ්‍යස්ථානය දැනුවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නාවික හමුදාවත් ඒ ගැන දැනගත්තා. ශ්‍රී ලංකා නාවික හමුදාව රටවල් තිස් නවයකට පණිවුඩ දුන්නා අපිව මුහුදු කොල්ලකරුවන්ට හසුවුණා කියලා. විශේෂයෙන් චීනය, ඉන්දියාව, මැදපෙරදිග රටවල් ඇතුළු රටවල් 39කට ඒ බව දැනුම් දී තිබුණා. අපිව මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ වෙලා තිබුණේ ඒ අනුව” යැයිද ඔහු සඳහන් කළා.

එම දැනුම් දීම්වලට අනුව සී ෂෙල්ස් රාජ්‍ය ද නාවික හා ගුවන් මෙහෙයුම් මෙම යාත්‍රාවේ සිටි ධීවරයන් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබුණා. ජනවාරි 29 වැනිදා සී ෂෙල්ස් ගුවන් හමුදාව ගුවනින් කරන ලද සොයාබැලීමකින් යාත්‍රාව හඳුනාගත් අතර ඒ තොරතුරු මත සී ෂෙල්ස් නාවික හමුදාව කොල්ලකරුවන්ගේ ග්‍රහණයට නතුව තිබූ යාත්‍රාව එහි සිටි ධීවරයන් ද සමග නිරුපද්‍රිතව බේරාගනු ලැබුවේ ඒ අනුවයි. එහි සිටි මුහුදු කොල්ලකරුවන් තිදෙනා ද අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම යාත්‍රාව පැහැර ගැනීම සිදුවන අවස්ථාව වනවිටත් අරාබි මුහුදේ එම සීමාව තුළ ධීවර යාත්‍රා 30කට ආසන්න සංඛ්‍යාවක් පැවති බව වාර්තා වෙනවා.

සී ෂෙල්ස් නාවික භටයන් කොල්ලකෑමට ලක්වූ ධිවර යාත්‍රාව බේරා ගැනීම සඳහා යාත්‍රාව අසලටම පැමිණි අවස්ථාවේ දී කොල්ලකරුවන් විසින් නාවික භටයන්ට වෙඩි වරුසාවක් එල්ල කළත් ඉන් නොනැවතුණු සී ෂෙල්ස් නාවික හමුදාව පෙරළා ප්‍රහාර එල්ල කර තිබුණා. නමුත් ඔවුන් මෙහෙයුම් දියත් කර තිබුණේ එකදු ජීවිතයකට හෝ හානි නොවන සේ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමත් ශ්‍රී ලාංකික ධීවරයන් බේරාගැනීමත් අරමුණ කරගනිමින්.

”කොල්ලකරුවන්ට අවශ්‍ය ආහාර පිළියෙළ කරන්න ඕනිත් අපිමයි. අපිට කෑම හිඟයකුත් තිබුණා. අපි පිරිමහගෙන කෑම හදා ගත්තා. අපි හදන කෑම මුලින්ම අපි කන්න ඕන. ඊට පස්සේ තමයි උන් ඒ ආහාර අනුභව කරන්නේ. මේ විදිහට දවස් දෙකහමාරක කාලයක් උන් අපිට සෑහෙන වද දුන්නා. යාත්‍රාවේ හැමදේම පරීක්ෂා කළා. අපව මුදානොගත්තා නම් අත්වන ඉරණම මොකක්ද කියලා හිතාගන්නවත් බැරිවයි හිටියේ”

මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවන විට යාත්‍රාවේ සිටියේ අවිශ්ක කෞෂල්‍ය, අශේන් ඉසුරු, කණිෂ්ක, චමිත් කුමාර, රකිත දුෂාන් සහ ප්‍රියන්ත යන පිරිසයි.

”අපි බෝට්ටුවේ වික්ටෝරියා වරායෙමයි හිටියේ. අපිට සී ෂෙල්ස් නාවික හමුදාවෙන් කෑම බීම දුන්නා. හැබැයි ඒ රටේ කෑම අපිට කන්න බැහැ. ලුණු, මිරිස්, ඇඹුල් නැතිව කුකුල් මසුයි පරිප්පුයි තමයි වැඩියෙන්ම දුන්නේ. අපි නොකා ඉන්න බැරිකමට වේලක් හැර වේලක් විදිහට තමයි කෑම කෑවේ.

නමුත් අපිව බේරාගත්තේ ඒ රටේ නාවික හමුදාව. ඒ වගේම අපේ රටේ නාවික හමුදාවත් ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා පුමුඛ ධීවර දෙපාර්තුමේන්තුවත් අපි වෙනුවෙන් දැඩි කැපවීමක් කළා.ඇමැතිතුමා විදේශ අමාත්‍යාංශයත් එක්ක රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කතා කරල අපිව ගෙන්ව ගන්න ගොඩක් මහන්සි වුණා. මේ මහන්සියේ ප්‍රතිඵලය විදිහට තමයි අපිට මේ රටට යළි පය තබන්නත් අපේ මාපියන්, බිරින්දෑවරුන් හා දරුවන් යළි දකින්න හැකි වුණේ. අපි වෙනුවෙන් මහන්සි වුණු හැමෝටම බොහෝම පිං.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!