රාජ්‍ය සම්පත් පරිහරණය පිළිබඳ චක්‍රලේඛයේ උපදෙස් තරයේ පිළිපැදිය යුතුයි

රාජ්‍ය සම්පත් පරිහරණය කිරීම සම්බන්ධ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇති අතර සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනිකුත් සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන් චක්‍රලේඛයේ සඳහන් නියෝග සහ විධිවිධාන තරයේ අනුගමනය කරනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තු වන බව කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඊයේ (31දා) සඳහන් කළා.

ඇප තැන්පත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අවසන් මොහොත තෙක් බලා නොසිට කල්තියා ඇප තැන්පත් කරන්නැයි ජනාධිපතිවරණයට තරග කිරීමට අපේක්ෂා කරන්නන්ගෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා කියා සිටියා.

අගෝස්තු 4 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප තැන්පත් කිරීමට කාලය ඇතත් අවසාන මොහොතේ ඇප තැන්පත් කිරීමට පිරිස වැඩිවුවහොත් අනවශ්‍ය තදබදයක් නිර්මාණය වනු ඇතැයි රත්නායක මහතා අවධාරණය කර තිබෙනවා.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරණ පනතින් ඉඩ ලබාදී ඇති කණ්ඩායම් තුන හැරුණු විට සෙසු පිරිස්වලට අවස්ථාව දීමට තවමත් අවස්ථාව ලැබී නැතැයි කී හෙතෙම ඊට නීති ප්‍රතිසංස්කරණවලින් මෙපිට මැතිවරණ කොමිසමට බලයක් නැතැයි ද පවසා සිටියා.

මැතිවරණ කොමසාරිස්වරයා මෙසේ සඳහන් කර සිටියේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ මාධ්‍යවේදීන් අමතමිනි.

“ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. දැනට අපේක්ෂකයන් 4ක් ඇප තැන්පත් කර තිබෙනවා. ඒ වගේම අගෝස්තු 4 මධ්‍යහ්න 12 දක්වා අපේක්ෂකයන්ට ඇප තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් බාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා. තැපැල් ඡන්ද අයැදුම්පත් සම්පූර්ණ කරගැනීම සඳහා අවශ්‍ය නාමලේඛන මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල, ග්‍රාම නිලධාරි කාර්යාලවල ප්‍රදර්ශනය කර තිබෙනවා. කොළඹ නගරයට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, තැපැල් මූලස්ථානය වැනි ආයතනවලත් ප්‍රදර්ශනය කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් වගේම 1919 අංකයට කතා කරලත් පුළුවන්. අගෝස්තු 5ට පෙර අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන්ට යැවීම අවශ්‍යයි. නාමයෝජනා බාරගැනීම නියමිතව තිබෙන්නේ අගෝස්තු 15 වැනිදා පෙරවරු 9.00 සිට 11.00 දක්වා. විරෝධතා කාලසීමාව පෙරවරු 11.30 දක්වා තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන මැතිවරණ කොමිසම යොදාගෙන යනවා.

රාජ්‍ය සම්පත් පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර තිබෙනවා. විශේෂයෙන්ම සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල අනිකුත් සියලුම ආයතනවල ආයතන ප්‍රධානීන් චක්‍රලේඛයේ සඳහන් නියෝග සහ විධිවිධාන තරයේ අනුගමනය කරනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම මේ චක්‍රලේඛයේ සහ නියෝගවල අරමුණ වන්නේ ඡන්ද විමසීම නිදහස්ව හා සාධාරණව පවත්වාගෙන යෑම සඳහා ඡන්ද විමසීමට පෙර මුල් කාලයේ පරිසරය සකස් කිරීමයි. ඒ නිසා ඒ නියෝග නිසි පරිදි පිළිපදිමින් මැතිවරණ කොමිසමට සිය කාරිය කරගෙන යෑම සඳහා සියලුම ආයතන ප්‍රධානීන් සහාය දක්වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම ඒ චක්‍රලේඛයේ සඳහන් වන විශේෂ කරුණු ගැන වැඩිදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් පැහැදිලි කරගැනීමට අවශ්‍ය නම් ඕනෑම අයකුට මැතිවරණ කොමිසමට කතා කරන්න පුළුවන්. මාධ්‍ය උපමාන හා අනෙකුත් උපමාන ඉක්මනින් නිකුත් කිරීමට කටයුතු සිදුවෙනවා. මේ සෙනසුරාදා දිවයිනේ සියලුම තේරීම් භාර නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවා ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය උපදෙස් ලබාදීම හා ගැටලු ගැන සාකච්ඡා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි සතියේදී සියලුම මාධ්‍ය ආයතන ප්‍රධානීන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, රාජ්‍ය ආයතන සංස්ථා මණ්ඩල ප්‍රධානීන් දේශීය නිරීක්ෂණ සංවිධානවල ප්‍රධානීන් සියලු දෙනාම කැඳවා සාකච්ඡා පවත්වනවා.”

මාධ්‍ය හමුව අවසානයේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න හා මැතිවරණ කොමසාරිස්වරයා ඊට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය: ඇප තැන්පත් කර ඇත්තේ තාම කීප දෙනයි. ඇප තැන්පත් කරන අයට කොමිසම දෙන පණිවුඩය කුමක්ද?
ඇප මුදල් තැන්පත් කිරීම හැකිතරම් කලින් සිදුකිරීම වඩාත් යෝග්‍යයි. අගෝස්තු 4 වැනිදා මධ්‍යහ්න 12ට ඒ කාලසීමාව අවසන් වෙන්නේ. අවසන් මොහොතේ ඇප තැන්පත් කරන්න හිටියොත් සමහරවිට අනවශ්‍ය තදබදයක් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් කලින් තැන්පත් කිරීම ඒ අයටත් මැතිවරණ කොමිසමටත් පහසුවක්. දළ වශයෙන් නාමයෝජනා බාරදීම සඳහා කොයිතරම් පිරිසක් සුදුසුකම් ලබනවාද කියන කරුණ 4 වැනිදා දවල් 12 වනවිට අපට දැනගන්න පුළුවන්.

ප්‍රශ්නය: මැතිවරණ පැමිණිලි ක්‍රියාවලිය මොන වගේද?
මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය මැතිවරණ මහලේකම් කාර්යාලයේ මේ වනවිට පිහිටුවලා තිබෙනවා. ඒ වගේම දිස්ත්‍රික් කාර්යාලවලත් ඒ මධ්‍යස්ථාන පිහිටුවනවා. අපට ලැබෙන සියලුම පැමිණිලි සහ අප විසින් සොයාගන්නා කරුණු පිළිබඳව ඒ අවස්ථාවේදීම කටයුතු කරලා අදාළ අයට දැන්වීමටත් නීතිවිරෝධී කටයුතු නතර කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා.

ප්‍රශ්නය: මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීමට අවස්ථාවක් දෙනවද?
මාධ්‍යවේදීන් පමණක් නෙවෙයි. එවැනි තවත් විශාල පිරිසක් ඡන්ද විමසන දිනයේ අත්‍යවශ්‍ය රාජකාරිවල නිරත වෙනවා. විශේෂයෙන්ම රෝහල්වල, අධිවේගී මාර්ගවල වැනි තැන්වල. එහෙත් ඒ සම්බන්ධයෙන් නීතිමය ප්‍රතිපාදන තවමත් ලැබිලා නෑ. අපි පසුගිය කාලවල මේ නීති ප්‍රතිසංස්කරණයට විශේෂ උත්සාහයක් ගත්තා. නමුත් තවමත් අවස්ථාව ලැබිලා නෑ. කාටද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නෙ කියලා ජනාධිපතිවරණ පනතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එහි සඳහන් වෙලා තිබෙන්නේ කණ්ඩායම් තුනක් ගැන. ජනාධිපතිවරණයට ආරක්ෂාව දෙන ආරක්ෂක අංශවලට. ඒ වගේම ජනාධිපතිවරණය සඳහා යොදාගන්නා රජයේ නිලධාරීන්ට සහ ඒ සඳහා යෙදෙන අනෙකුත් නිලධාරීන්ට හා තමන්ගේ ඡන්දය ලකුණු කිරීමට ඡන්ද මධ්‍යස්ථානයට යෑමට හැකියාවක් නැති අපේක්ෂකයන්ට. ඒ පනත වෙනස් නොකර වෙනත් අයට තැපැල් ඡන්ද අවස්ථාව දෙන්න මැතිවරණ කොමිසමට තීරණයක් ගැනීමේ හැකියාවක් නෑ.

ප්‍රශ්නය: පිළිගත් දේශපාලන පක්ෂවල අර්බුද නිසා තරග කිරීමේ වියවුලක් තිබෙනවා නේද?
දැනට ලේකම්වරුන් සම්බන්ධයෙන් අර්බුද තිබෙන පක්ෂ කීපයක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉදිරි දිනවල සාකච්ඡා කර ලේකම් වශයෙන් පිළිගන්නේ කවුද කියන කරුණ ගැන තීරණයක් ගන්නවා. අර්බුදය විසඳා ගැනීමට හැකියාවක් නැත්තන් මේ ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාරදීමට හැකියාවක් නැති බව ප්‍රකාශ කරනවා.

ප්‍රශ්නය: දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රවර්ධන කටයුතු කිරීම ගැනත් පැහැදිලි කළ හැකිද?
දේශපාලන පක්ෂවල ප්‍රවර්ධන කටයුතු කළ යුත්තේ රාජ්‍ය දේපළ කිසිවක් භාවිත නොකර. ඉදිරියේදී මාර්ගෝපදේශ දෙනවා.

ප්‍රශ්නය: රාජ්‍ය සේවයේ මාරුවීම් උසස්වීම් ආදිය වෙන්නේ කොහොමද?
මේ වනවිට දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආපු ඒ කටයුතුවල අවසන් අදියර නම් ඒවාට අපි අවස්ථාව දෙනවා. ඒක සිදුවෙන්නේ ඒ ඒ ඉල්ලීම් අනුව එකින් එක සලකා බලා.

ප්‍රශ්නය: පොලිස්පතිවරයා ගැන මැතිවරණ කොමිසමේ මැදිහත්වීම කුමක්ද?
පොලිස්පතිවරයකු නම් කරන්න අපට බෑ. ඒ සඳහා බලය තිබෙන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්න පමණයි අපට හැක්කේ. ඊයේ උදේ අපි ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කළේ ඒ අනුවයි. ඊයේ හවසම ජනාධිපති ලේකම්වරයාගෙන් ප්‍රතිචාර ලැබුණා. ඒ අනුව ජනාධිපතිවරයාගේ නියමය අනුව ජනාධිපති ලේකම්වරයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙන්නේ මැතිවරණයේ ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය වන සියලුම පොලිස් නිලධාරීන් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හා මැතිවරණ කටයුතු භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අද මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කිරීමට අපි කටයුතු කරනවා.

Latest News

More like this

30% තීරුබදු අඩු කර ගැනීමට ආණ්ඩුවෙන් දෙවැනි මෙහෙයුමක්…

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා ඇමරිකානු රජය...

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...
error: Content is protected !!