“නීති රීති, චක්‍රලේඛ හදලා තිබෙන්නේම හොරෙක් අල්ලන්න වගේ ගුරුවරයා දිහා බලන්නයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගුරුවරුන් කෙරෙහි පනවා තිබෙන ‘චෙක් කිරීමේ සංස්කෘතිය’ වෙනුවට ‘අවංකව රට ගොඩනැගීමේ කොටස්කරුවන්ගේ සංස්කෘතියක්’ බවට පරිවර්තනය කරනවා”ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (02) ලංකා ගුරු සේවයේ ජාතික සමුළුව අමතමින් සඳහන් කළා.
රට ඉදිරියට ගෙන යා හැක්කේ අධ්‍යාපනය තුළින් සිදු කරන වෙනස් කම් තුළින් පමණක් බවත් මාළිමා රජයක අධ්‍යාපනය ප්‍රමුඛතම රාජ්‍ය වගකීමක් බවට පත් කරන බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර සිටියා.
අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බව සමහරු සඳහන් කළත් ජාතික ජන බලවේගය ඊට එකඟ නොවන බවත් අධ්‍යාපනය ලාභ උපයන මාධ්‍යයක් නොවන බවයි ඔහු සඳහන් කළේ.
කිසිදු පාසලක් හෝ පාසල් දරුවන් දේශපාලන පක්ෂයක අවශ්‍යතා වෙනුවෙන් උපයෝගී කර ගැනීමට ඉඩ නොතබන අතර වරාය, ලං.ග.ම., ඛනිජ තෙල්, දුම්රිය මේ හැම එකකම දේශපාලනය පටවා තිබීමේ තත්වයෙන් පාසල වෙන් කරන බව ඒ මහතා සඳහන් කර සිටියා.
“අපේ දැඩි ස්ථාවරය පාසලත් පාසල් දරුවනුත් දේශපාලන මධ්‍යස්ථානය නොකර ගන්නා බවයි. ගුරුවරු මාරු කිරීම, උසස් කිරීම ඇතුළු කටයුතු දේශපාලනයෙන් ඉවත් කරනවා. මැති ඇමතිවරුන් සමග එකට හිටගත හැකි සම වගකීම් සහිත තත්වයට ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. මන්ත්‍රීලා, ඇමතිලා ඔය සඳලුතලවලින් බිමට බස්සන්න ඕනෑ. පුම්බාගත්, ආරූඪකර ගත් පුරවැසියාට වඩා ඉහළින් ඉන්නවාය කියන ජීවිත පුරවැසියාට සමාන තත්වයට පත්කරනවා. ඒ සියල්ල වෙනුවෙන් මේ සැප්තැම්බර් 21දා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් විය හැකි සමූහයන් අතර, ප්‍රධානම වී තිබෙන්නේ ගුරුවරුන්. පුනරුද යුගයක් බිහි කිරීමේ මූලික ජයග්‍රහණය වෙනුවෙන් වෙහෙස නොබලා වැඩකරමු කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.”
ඔහු වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළා.
“මගේ පාසල් අධ්‍යාපනයේදී ඉතාම සමීපව ආදරය, සෙනෙහස දුන් ගුරුවරු නොවෙන්න මම අද මෙතන නැහැ. ඒ බව හොඳින් මතක තබා ගන්න. අදත් අප ගැන සතුටු වෙන ඒ ගැන සුබ පතන මගේ දෙකේ පන්තියේ ටීචර් ඉන්නවා. අපි හැදුණේ අධ්‍යාපනය සඳහා යෝග්‍ය පරිසරයක නොවෙයි. ඉතාමත් සීමාසහිත හැකියාවක් සහිත පරිසරයකයි ඉපදුණේ. එයින් ගලවා අපිව ඔසවා තැබුයේ අපේ ගුරු පරම්පරාවයි. අද රට ගිලී තිබෙන ග්‍රාමීය දුප්පත්භාවය විශාල ඛේදවාචකයක්. සතුට නැති, කලහකාරී ග්‍රාමීය ජීවිතයක් තිබෙන්නේ. මේ ව්‍යසනයට ගොදුරු වූ දරුවා එතනින් ඉදිරියට ගෙන එන්නේ කොහොමද? ඒ සඳහා තිබෙන එකම මාර්ගය ඔබ අතේ තිබෙන අධ්‍යාපනය පමණයි. ගුරු මාතාව, ගුරු පියාණන් වශයෙන් ගෞරව ආමන්ත්‍රණය ලබන එකම වෘත්තිය ගුරු වෘත්තිය පමණයි. එනිසා තමයි ඇය මව් වෙන්නේ. ඔහු පියාණන් බවට පත්වෙන්නේ. දරුවෙක් ඉහළින් සමත් වුණාම සතුටු වෙනවා වගේම අසමත් වුණාම කොතරම් දුක් වෙනවාද? වෘත්තියෙන් මනින්න බැරි, වැටුපෙන් මනින්න බැරි සෙනෙහසක් තිබෙනවා. ආදරය මිශ්‍ර බැඳීමක් තිබෙනවා. ඒ ගුරුවරුන්ට කඳුළු ගෑස් එල්ල කරන්න, පහර දෙන්න බැටන් පාලු මෙහෙයවන ආණ්ඩු මොන වගේ ආණ්ඩුද?”