මගේ ආදරණීය අම්මා ආගම දහමට බොහොම ලැදි කෙනෙක්. අම්මාට මේ වෙච්ච දේ අපට දරාගන්න බැහැ. අම්මා නංගිටයි, මටයි, තාත්තටයි හරිම ආදරේ යැයි ඊශ්‍රායල-හමාස් යුද ගැටුම් අතරතුර මියගිය අනුලා රත්නායක මහත්මියගේ මරණය ගැන තොරතුරු සොයා අප ඊයේ (29 දා) කැලණිය, දළුගම, ලුම්බිණි මාවතේ, අංක 394 ඒ, දරන නිවසට ගිය මොහොතේ ඇගේ ආදරණීය පුතණුන් වන හේසව වීරසිංහ එසේ දැඩි කම්පනයෙන් යුතුව පැවසීය.
අප එම නිවසට යන විටත් අනුලා මහත්මියගේ දේහය නිවසට රැගෙනවිත් ඇති පුවත සැලවී විශාල පිරිසක් නිවසට එක්රොක්වී සිටිනු දැකගත හැකි විය.
මියගිය අනුලා රත්නායක මහත්මිය සාත්තු සේවිකාවක ලෙස ඊශ්‍රායලය බලා 2013 වසරේ ගොස් තිබිණි. ඇය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණපාන අවස්ථාවේ ඇය සේවය කරමින් සිට ඇත්තේ ගාසා හා ඊශ්‍රායල දේශසීමාව ආසන්නයේ පිහිටි ඊශ්‍රායලයෙ කිඹුස්බේරි ගම්මානයේදීය.
පසුගිය 7වැනිදා දේශසීමාව ආක්‍රමණය කළ හමාස් සටන්කාමීන් කෘෂිකාර්මික ගම්මානයක් වූ මෙම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරනු ලැබූහ.
එම ප්‍රහාරවලින් අනතුරුව අනුලා රත්නායක මහත්මිය අතුරුදන්වී ඇතැයි වාර්තා විය.
පසුව ඇය මියගිය බවට ඊශ්‍රායල තානාපති කාර්යාලය තහවුරු කළේ දින කීපයකට පසුවය.
අනුලා රත්නායක මහත්මිය මියයන විට 49 වියේ පසුවූ අතර ඈ දෙදරු මාතාවකද වූවාය.
ඊශ්‍රායල අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් ඇයගේ ඥාතීන්ගේ ෘභ් පරීක්‍ෂණ වාර්තාවක් ඉල්ලා සිටියේය.
පසුව ඇයගේ ඥාතීහු විසින් වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ දේහය හඳුනාගනු ලැබූහ. අනතුරුව අනුලා රත්නායක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් ඊශ්‍රායලයේදී සිදුකර සීල් තබන ලද දේහය ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපළට පෙරේදා (28 දා) උදෑසන 9.45ට රැගෙන එනු ලැබීය.
මේ අවස්ථාවට අනුලා මහත්මියගේ සැමියා වන කැලුම් වීරසිංහ මහතාත්, හේසව පුතු හා යොහානි දියණියත්, ඥාතීන් මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ද ගොස් තිබිණි.
අනුලා රත්නායක මහත්මියගේ දේහය පවුලේ ඥාතීන්ට භාරදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු සඳහා දේහය මීගමුව රෝහල වෙත රැගෙන ගියේය. එහිදී පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතුවලින් අනතුරුව දේහය කැලණිය, දළුගම පිහිටි නිවස වෙත රැගෙන එනු ලැබූහ.
අනුලා මහත්මියගේ නිවසේ සිටින විට දේහය අසල හිඳ තවත් වයෝවෘද්ධ මාතාවක් හඬනු දක්නට ලැබිණි. ඒ අනුලා රත්නායක මහත්මියගේ දයාබර මෑණියන්ය.
අනේ දුවේ උඹ අපිව දාලා ගියා. මේ දුක මම කොහොමද දරා ගන්නේ. උඹ නැතිව අපි කොහොමද ඉන්නේ. අනේ මගේ රත්තරං ඇයි උඹ වගේ හොඳ කෙනෙක්ට මේ වගේ දෙයක් වුණේ දෙයියෝ.
තවදුරටත් රැඳී සිටියදී ඊශ්‍රායලයේ අනුලා රත්නායක මහත්මිය සේවය කළ ගම්මානයේ එකටම සාත්තු සේවිකාවක ලෙස සේවය කළ මිතුරියක් වූ ප්‍රියංකා රත්නායක මහත්මිය මුණ ගැසිණි.
මගේ හොඳම මිතුරිය තමයි මේ අනුලා. මම මේ ඇගේ මළ ගෙදරට ඇඳගෙන ඇවිත් ඉන්න සුදු ඇඳුම පවා අරන් දුනනේ අනුලා. එයා බොහොම දැහැමි ජීවිතයක් ගත කරපු කෙනෙක්. මට මේ ඇඳුම එයා අරන් දුන්නේ සිල්ගන්න අඳින්න කියලයි. එයා හැම පෝයකටම සිල් ගත්තු කෙනෙක්. කහ සිවුරක් විතරයි ඇන්ඳේ නැත්තේ.
ඔක්තෝබර් 7 වැනිදා අනුලා ආදරණීය මිතුරියට මේ අවාසනාවන්ත දේ වෙනකොට මම ලංකාවට ඇවිත් හිටියේ. ඒ රටේ යාළුවෝ මට කෝල් කරලා කිව්වා අනුලාට කරදරයක් කියලා. ඊශ්‍රායලයට ගහනවා කියලත් කිව්වා.
අනුලා බලාගත්තු ආච්චි අම්මා අනුලාට හරිම ආදරෙයි. ඇයගේ ඇස් පෙනීම අඩුයි. පණ වගේ බලා ගත්තේ. එළියෙන් වෙඩි සද්ද වගයක් ඇහෙන කොට අනුලා, ආච්චි අම්මව කාමරයක ඇඳක් යටට යවලා තිබෙනවා. ඊට පස්සේ අනුලා සද්දේ මොකක්ද කියලා එළියට ගිහින් බලනකොට හමාස් ත්‍රස්තවාදීන් මගේ ආදරණීය මිතුරියට වෙඩි තියලා තියෙනවා. මට මේක දරාගන්න බැහැ.
අපේ රටෙන් ගියපු සාත්තු සේවිකාවන්ට මෙහෙම අපරාධ වෙනවානම් කොහොමද දරා ගන්නේ. මේවා අපරාධ, අනුමත කරන්න බැහැ. නිරායුධ මිනිසුන්ව බල්ලෝ බළල්ලු වගේ මරණ කොට අපි මේවා දරාගෙන ඉන්නේ කොහොමද?
කිඹුස්බේරි ගම්මානයේ අනුලා වැඩ කළේ. ඒ ගම්මානයේ ඉන්න ජනතාව හැමෝම අනුලාට ආදරෙයි. මේ හමාස් කියන ත්‍රස්තවාදීන් ඒ රටටම පිළිලයක්.
ඒ වගේම ඊශ්‍රායල වැසියෝ බොහොම සුහදශීලියි. දැන් අනුලා බලාගත්තු ආච්චි අම්මා හරියට ෂොක් එකේ ඉන්නේ. එයත් අනුලට පුදුම විදිහට ආදරෙයි. මොකද අවුරුදු 7ක්ම ආච්චි අම්මව බලාගත්තේ අනුලා නිසා.
අනුලා කියන මගේ මිතුරිය හැමෝටම උදව් කරන කෙනෙක්. ඇය ලංකාවේ නිවාඩුවට ආපු වෙලාවක අනුරධපුරයේ බුදුමැඳුරක් රුපියල් ලක්‍ෂ 35ක් වියදම් කරලා හදලා පූජා කළා. තව අනුරාධපුරයේ සිල්ගන්න යන වයසක අම්මලා, තාත්තලා, භික්‍ෂුන් වහන්සේලාට නොමිලේ ප්‍රවාහන පහසුකම් සපයන්න රුපියල් ලක්‍ෂ 10ක් වියදම් කරලා ත්‍රිරෝද රථයක් අරන් දීලා තියෙනවා. මේ වගේ පින් වැඩ රැසක් ඇය කරලා තියෙනවා.
එහෙම මනුස්සකම පිරුණු හදවතක් ඇති අනුලට මේ වෙච්ච දේ මට දරාගන්න බැහැ. මේ වගේ හිත හොඳ මිතුරියක් මට කවදාකවත් මුණගැහිලා නැහැ.
මේ අතර ඊශ්‍රයාලයේදී අනුලා මහත්මිය සාත්තු කළ ඒටී මොරාඩෝ නමැති වයෝවෘද්ධ මාතාව ඇස් නොපෙනෙන තමන්ට අනුලා ඇසක් වූ බව පවුලේ ඥාතීන්ට පවසා තිබේ.
අනුලා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (30 දා) සවස 4.00ට හුණුපිටිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.