ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය යන ඕනෑම මැතිවරණයකදී සිය පක්ෂය (දෙවැනි පරපුර) නාම යෝජනා භාර දීමට සූදානමින් සිටින බව උවිඳු විජේවීර මහතා ‘ Sri Lanka Guardian’ වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබෙනවා.
ඔහුගේ අභියෝගාත්මක ළමා කාලය,පියාගේ දේශපාලන භූමිකාව, ජ්‍යෙතිෂය, අධ්‍යාපනය, වර්තමාන දේශපාලන මැදිහත්වීම යන බොහෝ කරුණු පිළිබඳව ඔහු මෙහි දී සෘජු අදහස් දැක්වීමක් සිදු කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ වැඩිමල් පුතු වන උවිඳු පසු ගිය කාලසීමාවේ දේශපාලන කරළියට පැමිණියේ ‘දෙවැනි පරපුර’ ලෙස දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කරමිනි.
ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට මිනිසුන් ආකර්ශනය කර ගැනීමේ හැකියාව පිළිබඳ විමසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ” මම විශ්වාස කරන්නේ සාම්ප්‍රදායික අන්වර්ථ නාමයන් යල්පැන ගොස් ඇති බවත්, අපේ සමාජය නව කොන්දේසි සහ නැවුම් දේශපාලන සංස්කෘතියක් සඳහා ආශා කරන බවත්ය. උදාහරණයක් ලෙස වත්මන් චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් විසින් ආරම්භ කරන ලද සමාජ අභිසාරීතාව (Convergencia Social) ගන්න. අපගේ ක්‍රියාවන් තුළින් අපට දේශපාලනය පිළිබඳ මහජන සංජානනය නැවත සකස් කළ හැකි අතර, ඔවුන් අප කෙරෙහි විශ්වාසය තැබීමට පටන් ගනු ඇතැයි මට විශ්වාසයි.” යනුවෙන් පවසා තිබෙනවා.
“රුසියාව මට නැවතී සිටීමට අවස්ථාව ලබා දුන් නමුත් මගේ හදවත ශ්‍රී ලංකාවේ පවතින බැවින් මම එය ප්‍රතික්ෂේප කළා. පුද්ගලයන් 60,000 කට අධික පිරිසක් සමාජ වෙනසක් සඳහා තම ජීවිත පූජා කර තිබෙනවා. අවසානයේ එය අසාර්ථක වුවද, ජීවිත අහිමි වූවන්ට පමණක් නොව ඉදිරි පරම්පරාවන්ට සාධාරණය ඉටු කිරීම මගේ වගකීමක් බව මම විශ්වාස කරනවා” යැයි ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.
බංකොලොත් ජාතියක් ලෙස රට ගොඩනැගීමේ අභියෝග පිළිබඳ අදහස් දක්වමින් ඔහු වැඩි දුරටත් දක්වා ඇත්තේ මෙවැනි අදහසකි.
“නිදහස ලබා ගැනීමෙන් පසු, අපට ස්ථාවර ජාතික ප්‍රතිපත්ති නොමැති අතර, ඒ වෙනුවට එක් එක් මැතිවරණයෙන් පසු තාවකාලික අදහස් මත රඳා පැවැතීමක් සිදු වෙනවා. සැබෑ ජාතිකවාදයේ හරය සහ අපේ ජාතිය ශක්තිමත් කිරීමේදී දේශපාලන මතවාදවල කාර්යභාරය ග්‍රහණය කර ගැනීමට අප අසමත් වී තිබෙනවා.
රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයේම පුද්ගලයන් ස්වාර්ථයට මුල්තැන දෙන අතර, දේශපාලකයින් ජාතියේ සම්පත් පුද්ගලික වාසි තකා ගසාකෑම සිදු කරනවා. මෙම මූලික දෝෂ ආමන්ත්‍රණය නොකරීමෙන් සිදුවන්නේ, එම වැරදිම නැවත කිරීමට අපට සිදු වීමයි. බලයේ සිටින සහ ඒ සඳහා තරඟ කරන බොහෝ දේශපාලන පක්ෂවලට දිගුකාලීන දැක්මක් නැහැ. කෙසේ වෙතත්, අපේ රට යහපත් අතට හැරවීමට දැක්ම, සැලැස්ම සහ හැකියාව අප සතු බව මට විශ්වාසයි.”
ඔහු මෙම සංවාදය ඇතුළත විශේෂ හෙළිදරව්වක් කරමින් ඔහු ජ්‍යෙතිෂය විශ්වාස කරන බවත් එය විෂයක් ලෙස හදාරන බවත් වැඩිදුරටත් පවසා තිබෙනවා.