“ජයිකා” ඇණ හිටීමෙන් දිනකට අසූචි ඝන මීටර් 7000 ක් මහවැලියට

දිනකට අසූචි මිශ්‍ර අප ජලය ඝන මීටර් 7000කට ආසන්න ප්‍රමාණයක් මහවැලි ගඟ ඇතුළු බාහිර පරිසරයට අක්‍රමවත්ව බැහැර වන බව නාගරික සනීපාරක්‍ෂක අංශ පෙන්වා දෙනවා.

මහනුවර නගරයේ අප ජලය කළමනාකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ ‘ජයිකා’ ආධාර ව්‍යාපෘතිය අතරමග ඇනහිටීම මෙම තත්‍ත්වයට හේතුවයි.

මෙය බරපතළ ප්‍රශ්නයක් බවත්, මේ ඔස්සේ පැන නඟින සෞඛ්‍ය හා පාරිසරික ගැටලු මහනුවර නගරයේ සිට මහවැලි ගඟ මුහුදට වැටෙන ත්‍රිකුණාමලය දක්වා බලපා හැකි බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

2010 දී ආරම්භ කරන ලද ජයිකා ආධාර සහිත මහනුවර අප ජල පිරිපහදු ව්‍යාපෘතිය සඳහා ජයිකා ආයතනයෙන් ව්‍යාපෘතිවලට ලැබිය යුතු රුපියල් බිලියනයක මුදලක් අහිමිවීම මෙම තත්ත්වයට බලපා ඇති බවයි සඳහන් වන්නේ.

මහයියාව, දෙයියන්නේවෙල, කටුගස්තොට, ගාලේවත්ත, සුදුහුම්පල, පතනේ වත්ත ආදී ප්‍රදේශවල තිබෙන නිවාස 4000 කින් පමණ පොදු වැසිකිළිවලින් ගලා යන අසූචි මිශ්‍ර අප ජලය මැද ඇළට සම්බන්ධවී කටුගස්තොටදී කෙළින්ම මහවැලි ගඟට මිශ්‍ර වන බවද මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබෙනවා.

අවම වශයෙන් තවත් රුපියල් මිලියන 150ක මුදලක් හෝ මේ සඳහා රජය මගින් ලබාදෙන්නේ නම් දැනට සිදුවන අප ජල හානිය සියයට 50 කින්, එනම් ඝන මීටර 3500කින් අවම කරගත හැකි බවයි නාගරික සනීපාරක්ෂක අංශ පෙන්වා දෙනවා.

රුපියල් බිලියන 22ක ජයිකා ආධාර යටතේ ආරම්භ කරන ලද මෙම මහනුවර අප ජල කළමනාකරණ ව්‍යාපෘතියේ පිරිපහදු ඒකකය ඇතුළු නළ මාර්ග පද්ධතිය රුපියල් බිලියන 21ක වියදමෙන් ස්ථාපිත කර ඇති නමුත් නිවාස, කර්මාන්ත, හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන 10,000කින් 6000ක් අප ජල නළ පද්ධතියට සම්බන්ධකර ගැනීමට නොහැකිවීම මෙම ගැටලුවට හේතුව බවද කාන්තා සංවර්ධන මධ්‍යස්ථානය (WDC) සහ පරිසර යුක්ති කේන්ද්‍රය (CES) එක්ව පෙරේදා (14දා) මහනුවර නගරාශ්‍රිතව සිදුකරන ලද ක්‍ෂේත්‍ර මාධ්‍ය අධ්‍යයනයකදී අනාවරණය කර ගැනීමට හැකි වුණා.

ජයිකා ආයතනයෙන් ලැබිය යුතු ඉතිරි රුපියල් බිලියනයක මුදල ලැබෙන්නේ නම් මෙම තත්ත්වය වළකාගත හැකි බවද නාගරික බලධාරීහු පවසා තිබෙනවා.

එම මුදල ලබාගැනීමට රජය වහා මැදිහත්ව කටයුතු කළ යුතු බවද පරිසරවේදීහු පවසනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!