රුසියා-යුක්රේන යුද්ධයට කුලී හේවායන් ලෙස යවනු ලැබූ ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිටින මහමොළකරු තමා බව ද තමා රුසියානු රහස් ඔත්තු සේවය වන KGB හි හිටපු ඔත්තුකරුවෙකු බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.
ඒ සඳහා රුසියාව බලා යවන නියෝජිතයකු ලෙස තමා පත් කිරීමේ වගකීම ඇත්තේ රජයට බවත් එය සිදුවුවහොත් ශ්‍රී ලාංකිකයන් මුදා ගැනීම සතියකින් ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
රුසියානු යුක්රේන යුද්ධය සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම කිරීම පිටුපස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සිටින බවත් ඒ සඳහා එක පුද්ගලයෙකුගෙන් ඩොලර් දාහක් ලබාගෙන ඇති බවට එල්ලවන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් යූ ටියුබ් අවකාශයේ පැවති සංවාදයකදී ඔහු ප්‍රකාශ කළේ “මා විසින් එය කළා නම් ඩොලර් දාහක් වැනි අඩු මුදලකට එය සිදු නොකරන බවයි.”
රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය මෙරටින් එහි ආරක්ෂක අංශවලට ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වන කණ්ඩායම්වලට ගුවන්තොටුපළෙන් පිටවීම සඳහා නිෂ්කාෂණ වාර්තාවක් ලබා දෙන බව ඔහු පවසනවා.
මේ යන අය අවුරුද්දක ගිවිසුමක් අත්සන් කරනවා. ලංකාවෙන් යන අය එහේ හමුදා කඳවුරකට ඇතුළත් කරනවා. ඊට පස්සෙ ඔවුන්ට ලියාපදිංචි අංකයක් දීලා ඔවුන්ව අවුරුද්දක ක්රියාන්විතයකට බඳවා ගන්නවා. යැයි ඔහු පැවසුවා.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් එම පිරිස් වැග්නර් කුලී හමුදාවට බැඳීමට යන බව පැවසීම සම්පූර්ණ අසත්‍යයක් බවයි ඔහු පවසන්නේ.