ජාතික ගුවන් සේවය මුහුණ දෙන වත්මන් අභියෝග පිළිබඳව ගෝලීය ගුවන් සේවා ප්‍රජාව හොඳින් දන්නා බැවින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ වත්මන් ගැටලු එහි ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට බාධාවක් නොවනු ඇති බව එහි ඉහළ පෙළේ නිලධාරියෙක් පවසා තිබේ.
ඒ සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ඕනෑම අනාගත ආයෝජකයෙකු සඳහා එය පුදුමයක් නොවනු ඇති බව ඔහු පවසයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය මුදල් ප්‍රවාහයේ ගැටලුවලට අමතරව ගුවන් ගමන් ප්‍රමාදයන්, අවලංගු කිරීම් සහ ගුවන් නියමුවන්ගේ හිඟය හේතුවෙන් මෑත කාලීනව දුෂ්කර කාලයකට මුහුණ දුන්නේය.
රජය සතු ව්‍යවසායන් (SOEs) පුනර්ජීවනය කිරීමේ සැලසුමේ දී, ජාතික ගුවන් සේවය එහි විවිධ කාර්යයන් එකතු කිරීම හෝ ඉවත් කිරීම සමඟ ප්‍රතිව්‍යුහගත කිරීමකට සූදානම් වේ.
රාජ්‍ය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකයේ ප්‍රධානී සුරේෂ් ෂා පැවසුවේ ගෝලීය ගුවන් සේවා ප්‍රජාවේ ගුවන් සමාගම් එකිනෙකා හොඳින් හඳුනන බවත් ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ වත්මන් වර්ධනයන් ඔවුන්ට අලුත් දෙයක් නොවන බවත්ය.
“එබැවින් ඕනෑම විභව ආයෝජකයෙකු සඳහා එය පුදුමයක් නොවනු ඇතැයි” ඔහු පැවසීය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමින්ය.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ ගණුදෙනුව ලබන වසරේ දෙවන කාර්තුව වන විට අවසන් කිරීමට රජය අපේක්ෂා කරන බව ඔහු පැවසීය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට තමන් විරුද්ධ නොවන නමුත් මෙම ආයතන බිහි කිරීමේ උදාර අරමුණු ගිලිහී නොයන ලෙසට වග බලා ගන්නා ලෙස එම ඒකකයෙන් ඉල්ලා සිටින බවයි.
එමෙන්ම, මගී ප්‍රවාහන බස් සේවාව පෞද්ගලීකරණය කිරීම හොඳ අර්ථයක් තිබුණද අද එය අවුලකට හේතු වී ඇති බවද ඔහු පැවසීය. වත්මන් ක්‍රියාවලියෙන් පසු එවැනි අකරතැබ්බයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.