සිය දිවි නසාගත් ගෝල්ෆේස් අරගලකරුගේ ලියුම Fake බව ඥාතින් කියයි..

පසුගිය වසරේ ගෝඨාගෝගම අරගලය සඳහා ඉදිරිපෙළින් දායකත්වය සැපයූ බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නමැති තරුණයා මානසික අවපීඩන තත්වය මත ජීවිතයෙන් සමුගෙන තිබෙන බව වාර්තා වේ.

ගෝල්ෆේස් අරගලය ආරම්භ කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ අයෙකු වූ ඔහු ගෝඨා ගෝ ගම පළමු කුඩාරම ඉදි කළ පුද්ගලයා බවද කියැවිණි.

ඔහු මානසික අවපීඩනය සඳහා ප්‍රතිකාර ගනිමින් සිට තිබෙන බව වාර්තාවී තිබේ.

ඔහුගේ සිය දිවි නසාගැනීම පුද්ගලික හෝ සෞඛ්‍ය හේතු මත සිදුවන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර ඔහු ‘පූර්ව අරගලකරුවෙකු‘ වීමත් ‘කලකිරීමකින්‘ දිවිනසාගැනීමත් මත ඔහුගේ මරණය සම්බන්ධ කරගෙන අරගලයට හා එයට සම්බන්ධවූ අයට මඩගැසීමේ ෆේස් බුක් සංවාදයක්ද මේ වනවිට නිර්මාණයවී තිබේ.

මියගිය බුද්ධි ප්‍රබෝධ මියයන්නට පෙර නිවසේ සිටියදී ලියූ බව කියැවෙන ලියුමක පිටපතක්ද සමාජ මාධ්‍ය ඔස්සේ මෙවන විට හුවමාරුවේ.

මෙම ලිපිය දේශපාලන වාසි තකා ඔහුගේ යයි හැඟවෙන ආකාරයට ප්‍රසිද්ධීයට පත් කර ඇතැයි ඔහුගේ ඥාති හිතමිත්‍රාදීන් චෝදනා කරයි.

ඥාති හිතමිත්‍රාදීන් විසින් යොමුකොට ඇති ඉල්ලීම පහතින්..

බුද්ධි ප්‍රබෝධගේ හදිසි සමුගැනීම සම්බන්ධ ව සමාජ මාධ්‍යවල හුවමාරු වන ව්‍යාජ ලිපිය සම්බන්ධ වයි.

අප සියල්ලන්ගේම හිතමිත්‍ර බුද්ධි ප්‍රබෝධගේ හදිසි අභාවය සමග, ඔහු විසින් ලියන ලදැයි හැඟවෙන ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන බව අපට දැනගන්නට ලැබී තිබෙනවා.

බුද්ධිගේ අවසාන කැමැත්තෙන් ඔහු ඉල්ලා සිටි වැදගත් ම ඉල්ලීම වූයේ අවසන් කටයුතු නිම වන තෙක් මේ පිළිබඳ ව සමාජ මාධ්‍යවල කිසිදු තොරතුරක් පළ නොකරන ලෙසයි. බුද්ධිව හොඳින්ම දැන සිටි සහ ඔහුගේ සමීපතමයන් කිසිවෙක් ඔහුගේ සමුගැනීම සම්බන්ධ ව ප්‍රසිද්ධියේ අදහස් පළ නොකළේ ඒ අනුවයි.

කෙසේ වෙතත් පැහැදිලි දේශපාලන සහ වෙනත් පටු අරමුණු සහිත යම් පිරිසක් විසින් ඔහු ලිව්වා සේ හැඟවෙන (අතින් ලියන ලද) ලිපියක් සකස් කර ඇති අතර, එය මේ වනවිට සමාජමාධ්‍ය හරහා හුවමාරු වන බවත් අපට වාර්තා වනවා.

අප ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ව්‍යාජ ලිපිය හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසත්, නොදැනුවත් කමින් හෝ එය බෙදාගත්තා නම් එය ඉවත් කරන ලෙසත්. කවුරුන් හෝ මේ ව්‍යාජ ලේඛනය දිගින් දිගට ම බෙදා හරින්නේ නම් ඊට එරෙහි ව නීතිමය පියවර ගැනීමට අප සූදානම්. එබැවින් එවැන්නක් දුටුවොත් අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා.

බුද්ධිගේ මතකයට කළ හැකි ලොකු ම ගෞරවය ඔහුගේ අපේක්ෂාව පරිදි මේ පිළිබඳ අනවශ්‍ය ප්‍රචාර පැතිරවීමෙන් වැළකීම බව අප යළිත් වරක් ඔබ සියලු දෙනාට සිහිපත් කරනවා.
ස්තුතියි.

මීට, බුද්ධිගේ ඥාති හිතමිත්‍රාදීන්

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!