ආණ්ඩුව පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කර ඇති බැවින් ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ සමඟ නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බවත් දූෂණ විරෝධය දේශපාලන සටන් පාඨ කරගත් යුගය නිමා කරන බව ජනජනාධිපතිවරයා පවසා තිබෙනවා.
තෙල්දෙණිය නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (15) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවා.
“ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැඟුවද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙනවා. ජනාධිපතිවරයා දූෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය ඒ සමඟ නිමා වෙනවා. රටක ස්ථාවරත්වය රැඳී පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මතයි. රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වන්නේ ද නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය තුළයි.
ශත වර්ෂයකට පමණ පසුව නීති ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් අප සිදු කර තිබෙනවා. ඒ අනුව නීති 75ක් පමණ සම්මත කර ගැනීමට අප පසුගිය දෙවසර තුළ කටයුතු කළා. පැවති ඇතැම් පාර්ලිමේන්තු වසර 04ක්, 05ක් කටයුතු කළත් කිසිදා මෙවන් නීති ප්‍රමාණයක් සම්මත කර ගෙන නැහැ. ආණ්ඩුවක් තිබෙන්නේ වැඩ කරන්න වගේම මන්ත්‍රීවරුන් ද නීති සම්පාදන කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මෙම නීති සම්මත කර ගනිමින් නව නීති පද්ධතියක් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා”