මගියෙකුගේ නැතිවූ ජංගම දුරකතනයක් ගුවන් සේවා කාර්ය මණ්ඩලය රැඳී සිටි හෝටලයෙන් සොයාගත් බවට චෝදනා එල්ල වීමෙන් පසු ඉන්දුනීසියානු ගුවන් සමාගමක් ගුවන් යානයක මුළු කැබින් කාර්ය මණ්ඩලයේම සේවය අත් හිටුවා තිබෙනවා.
මෙම සිදු වීම වාර්තා වුණේ ජුනි 6 වන දින ජකර්තා සිට මෙල්බර්න් දක්වා ගමන් කළ ගරූඩා ඉන්දුනීසියානු ගුවන් සමාගමට අයත් GA716 ගුවන් යානයේදීය.
එහි ගමන් ගත් මගියෙකු වන මයිකල් ජෙන්ඩාරා නැමති පුද්ගලයකු ඔහුගේ දුරකතනය සොරකම් කර ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟ වහාම පරීක්ෂණ ආරම්භ කර තිබුණා.
සිය ජංගම දුරකතනය ආසන රඳවනයේ රැඳවූ බවටයි ඔහු චෝදනා කළේ.
ඔහු ඉන්ස්ටග්‍රෑම් සටහනක මෙම සිදුවීම පළ කර අතර ඔහුගේ iPhone දුරකතනය එය ඇති තැන නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන Apple විශේෂාංගයක් බව සඳහන් කර තිබුණා.
ගුවන් යානය ගොඩබෑමෙන් පසු ගරූඩා කාර්ය මණ්ඩල සාමාජිකයින් නවාතැන් ගෙන සිටි බවට විශ්වාස කෙරෙන මර්කියුර් හෝටලය අසලදී උපාංගය නිරීක්ෂණය කර ඇති බවට ඔහු චෝදනා කර සිටියා.
වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එය හෝටලයට ඔබ්බෙන් යාරා ගඟේ පාලමක් යට ඇති බව නිරීක්ෂණය කෙරුණු බවත් බොහෝදුරට එය වතුරට වීසි කරන්නට ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම සිදුවීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දුනීසියාවේ බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ බව මගියා පවසන්නේ.
“මෙය කිසි විටෙකත් දුරකතනයක් ගැන පමණක් නොවේ. එය ඔබ පියාසර කරන විට ආරක්ෂිත බවක් දැනීම ගැනය. එය ඔබේ පවුලේ ආරක්ෂාව දැනීම ගැනය.”
නැතිවූ දුරකතනය පිළිබඳ සමාජ මාධ්‍ය පළ කිරීම්වලට ප්‍රතිචාර වශයෙන් ගරූඩා ඉන්දුනීසියාවේ වාණිජ අධ්‍යක්ෂවරයා, ජුනි 9 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ගුවන් සේවය සිද්ධිය පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවයි.
ගුවන් සේවය දුරකතනය සොරකම් කර ඇති බව පිළිනොගත් අතර එය “නැතිවූ” බවට පමණක් විස්තර කර තිබෙනවා.
කෙසේ වෙතත් විමර්ශනය දිගටම පවතින අතරතුර ගුවන් යානයේ රාජකාරියේ යෙදී සිටි සියලුම කැබින් කාර්ය මණ්ඩලය තාවකාලිකව සේවයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
දුරකතනය නැතිවූ බවට වාර්තා වූ විට, සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් එය ජකර්තා ගුවන්තොටුපළ බලධාරීන්ට වාර්තා කිරීම ඇතුළුව සම්මත මෙහෙයුම් සහ ගුවන් ගමන් ආරක්ෂණ ක්‍රියා පටිපාටි අනුමනය කර ඇති බවත්, ඔවුන් සෝදිසි කිරීමක් සිදු කළ බවත් පැවසෙනවා.