“අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා මාධ්‍ය ප්‍රකාශක කියනකොට අපට හිතට හරි අමාරුයි. මතුගම ප්‍රාදේශීය සභාව පිහිටුවන කොට මම හරිම සද්භාවයෙන් කටයුතු කළා. ඒකට ලැබුණු ගෝල්ඩ් මෙඩල් එකක්ද මේක? ඒත් මම දිනපු ප්‍රාදේශීය සභා දෙකම ආණ්ඩුවට දුන්නා.” සිය පුත්‍රයා සිරගත වීම සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරමින් සමගි ජන බලවේගය මන්ත්‍රී ජගත් විතාන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) කියා සිටියා.
එකලස් කරනු ලැබූ මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන අවිට ජගත් විතාන මන්ත්‍රීවරයාගේ පුතා අත්අඩංගුවේ පසු වෙනවා. මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කරමින් ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ වාහනයට බැංකු ණයක් අනුමත වීමත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලද නීත්‍යානුකූල තත්ත්වයත් නිසා එම මෝටර් රථය අතිපිරිසිදු එකක් ලෙස තමන් සිතූ බවයි.
ඊයේට නියමිත විවාදයේදී අදහස් දක්වන අතරතුර මේ බව පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර සිටියා.
“මම හරි පීඩනයකින්, කම්පනයකින් ඉන්නේ. පාවිච්චි කරපු වාහනයක් මේ ළඟදී මම ගත්තා. පොලිසිය සිකුරාදා ඇවිත් වාහනය පදවාගෙන යනකොට මගේ පුතාව අත්අඩංගුවට ගත්තා. ඒක හරිම අසාධාරණ අත්අඩංගුවට ගැනීමක්. ඒ වාහනෙන් මම මේ පාර්ලිමේන්තුවට දහපාරක් විතර ආවා. අඩු තරමේ මට දුරකථන ඇමතුමක් දුන්නා නම් මම ඒ වාහනේ ගෙනත් භාර දෙනවා.
මම ඒ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමැතිවරයකුගෙන් සහ මේ සභාවේ දැනට සිටින මන්ත්‍රීවරයකුගෙන්. මම ඒ මන්ත්‍රීතුමාට කිව්වා මට අසාධාරණයක් වුණා කියලා. ඔහු ඒ ගැන දන්නවා කිව්වා. ඒත් වාහනයට වුණු දේ ගැන දන්නේ නෑ කිව්වා. එයාගේ දුවට ගත්තු වාහනය මගේ පුතාට විකුණලා. ආර්එම්වී එකෙන් අනුමැතිය ලැබිලත් අද මගේ පුතා හිරබත් කනවා.
මම පුතාව බලන්න ගියා. විශේෂ වරප්‍රසාද ගන්න පුතා ප්‍රතික්ෂේප කරනවා. කෑම පිටින් ගන්නේ නෑ. මම හරි වේදනාවෙන් ඉන්නේ. මාව ගන්න කියලා මම කිව්වා. මමනේ ඒ සමාගම නමින් තිබෙන වාහනයේ අයිතිකරු. මාව ගත්තේ නෑ. මගේ ඉස්සරහදීම මගේ පුතාට මාංචු දැම්මා. දවස් 14කට රිමාන්ඩ් කළා. ඇප නෑ. පෙර අයිතිකරු ඉදිරිපත් වුණොත් විතරයි ඇප ලැබෙන්නේ. මටත් හිතට අමාරුයි. ඉදිරියට බන්ධනාගාරගත වෙන්න යෝජිත ඒ මන්ත්‍රීවරයාටත් හිතට අමාරුයි.
මට ඒ වාහනයට දුන්නු බැංකු පහසුකම නිසාත් මට හිතුණා එය අතිපිරිසිදු වාහනයක් කියලා. වාහනය අරගෙන ආර්එම්වී එකට පේපර්ස් භාර දුන්නාම දවස් 04ක් ඇතුළත මගේ නමට ආපහු පොත ලැබුණා. ඊට වඩා මොනවාද?
එක වාහනයක් තිබෙන කෙනෙක් වුණා නම් මෙලහකට සියදිවි නසාගෙන. මගේ පුතාට පොඩි ළමයි දෙන්නෙක් ඉන්නවා. අවුරුදු දෙකයි, අවුරුදු තුනයි. ඒ ළමයි මගෙන් තාත්තව ඉල්ලනවා. මට තාත්තව ගෙනත් දෙන්න බෑ. (කඳුලු සළයි). මේ සාධාරණත්වය ලැබෙන්නේ නෑ කියලා මම දන්නවා. ඒත් ජනතාවට මේ අසාධාරණය කරන්න එපා. ඒ නිසා අවම බලය පාවිච්චි කරන්න කියලා උපදෙස් දෙන්න. ගරු අධිකරණයටත් කරන්න දෙයක් නෑ.