ලංකාවට අත දෙන්න චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයින් ජවිපෙ මූලස්ථානයට පැමිණේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ නියෝජිත කණ්ඩායමක් නිරීක්ෂණ චාරිකාවක් සඳහා ඊයේ (03) පස්වරුවේ බත්තරමුල්ල, පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පැමිණ තිබෙනවා.

මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී සිටින හදිසි ව්‍යසන තත්වය පිළිබඳවත් එය ජයගැනීම සඳහා චීනය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව මෙම නියෝජිත කණ්ඩායම සහ ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් අතර දීර්ඝ සාකච්ඡා සිදු වූ බවයි වාර්තා වන්නේ.

මෙම නියෝජිත පිරිස පළමුවෙන්ම මහරගම ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලයට පැමිණ තිබුණා. ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින ස්වාභාවික ආපදා තත්වය සම්බන්ධයෙන් සහ විපතට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වුණා.

පසුව ජවිපෙ ප්‍රධාන කාර්යාලයට පැමිණි චීන නියෝජිත පිරිස එහිදී ජාතික ජන බලවේගයේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා සමඟ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

දුෂ්කර තත්වයෙන් ගොඩඒම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂ පාලනය විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගයට නියෝජ්‍ය අමාත්‍යවරයා ස්තූතිය පළ කර තිබෙනවා. චීනයද මෙවැනි ආකාරයේ ස්වාභාවික ව්‍යසන ගණනාවකට මුහුණ දී ඇති බවත් එවැනි තත්වයන් කළමනාකරණය කර ගැනීමට තමන්ට හැකිවූ බවත් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ තොරතුරු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් KANG Shuai මහතා එහිදී සඳහන් කළ බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම වත්මන් චීනය ගොඩනැගීමේදී චීන රජය විසින් සිදුකරනු ලැබූ සංවර්ධන සැලසුම් පිළිබඳව විස්තර කළ චීන නියෝජිතයෝ මේ වන විට චීනය ක්‍රියාත්මක කරමින් සිටින්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ පහළොස්වන පස් අවුරුදු සැලැස්ම බවයි සඳහන් කර ඇත්තේ.

මෙම නියෝජිත පිරිසට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ තොරතුරු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් KANG Shuai මහතා, බීජිං නාගරික කමිටු පක්ෂ පාසලේ සහය මහාචාර්ය JIANG Wen මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ තොරතුරු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා ZHANG Guifeng මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දේවානන්ද සුරවීර, ලක්මාලි හේමචන්ද්‍ර සහ මහරගම නගර සභාවේ නගරාධිපති සමන් සමරකෝන්, උප නගරාධිපතිනි රන්ජනී නාඔටුන්න, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක ඇතුළු පිරිසක් ද සගභාගී වුණා.

චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයින් විසින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය වෙත පොත් පරිත්‍යාගයක්ද සිදු කර තිබෙනවා.

Latest News

More like this

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...