ලෝකය තුළ ඉහළ ඉල්ලුමක් පවතින බූරු කිරිවලින් චීස් ඇතුළු පෝෂ්‍යදායි ආහාර හා චර්ම රෝග සඳහා ඖෂධ නිපදවීමට ඇති හැකියාව සොයා බැලීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය, විද්‍යා පීඨය හා වෛද්‍ය පීඨය එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මේ පර්යේෂණ සඳහා භාජනය කිරීමට මන්නාරමේ සිට බූරු පිරිමි සතුන් තිදෙනකු, ගැහැනු සතුන් තිදෙනකු හා බූරු පැටවකු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය අශෝක දංගොල්ල මහතා පවසා තිබෙනවා.
තම රූසපුව වැඩිදියුණු කර ගැනීම සඳහා ක්ලියෝපැට්රා වැනි රූමතියන් බූරු කිරි පාවිච්චි කළ බවට ඉතිහාසයේ සඳහන් වන බවත් ඒ කිරි ආශ්‍රයෙන් ආලේපන සකස් කිරීමේ හැකියාව සම්බන්ධව වෛද්‍ය පීඨය සම්බන්ධ කර ගනිමින් පරීක්ෂණ කිරීමට සැලසුම් කර තිබෙන බවද දංගොල්ල මහතා පවසනවා.
බූරු කිරිවල පෝෂණ ගුණය බොහෝ දුරට මවු කිරිවලට සමාන බවත් ඒවා උපයෝගි කර ගනිමින් සකස් කරන චීස්වලට ලෝකයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් කී ඒ මහතා පර්යේෂණ සාර්ථක වී නිෂ්පාදනය කිරීමට හැකි වුවහොත් ඒවා අපනයනයෙන් විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව පවතින බවද සඳහන් කළා.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට රැගෙන ආ හොඳින් වැඩුණු බූරුවකු දිනකට තණකොළ කිලෝග්‍රෑම් 5ක් පමණ ආහාරයට ගන්නා බවත් ඔවුන්ගෙන් දෛනිකව ලබා ගත හැකි කිරි ප්‍රමාණය එළදෙනකුගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය හා සැසඳීමේදී ඉතා අඩු බවත් මහාචාර්යවරයා පවසනවා.
පුත්තලම හා මන්නාරම කේන්ද්‍ර කර ගනිමින් බහුලව දක්නට ලැබෙන මේ සත්ත්ව විශේෂය මේ වන විට වනජීවී දෙපාර්තමේන්තු භාරකාරත්වයෙන්ද ඉවත් කර තිබෙන බවත් අයාලේ යන්න ඉඩ හැර සිටින බූරුවන් අනතුරුවලට ලක්ව මියයන අවස්ථා බහුලව වාර්තා වෙනවා.
බූරුවන්ගේ ආයු කාලය, ගැබ් කාලය, පැටවුන් බිහි කිරීමෙන් පසු කිරි ලබා ගැනීමට හැකි සක්‍රිය කාලය හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ පශු වෛද්‍ය පීඨයේ මූලිකත්වයෙන් අඛණ්ඩව සිදු වෙනවා.