පන්සලේ ලොකු ගොඩනැගිලි චෛත්‍ය හැදුවාට බුදු සසුන පවත්වාගෙන යන්න බැහැ

විහාරස්ථානවල විශාල ගොඩනැගිලි සහ චෛත්‍ය ඉදිකිරීම තුළින් පමණක් සම්බුද්ධ ශාසනය පවත්වා ගෙන යා නොහැකි බව ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ පවසනවා.

උන්වහන්සේ එසේ පැවැසුවේ දෙවන වරටත් ඉදිරි වසර තුනක කාලය සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය අමතා අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ මෙසේද සඳහන් කළා.

“ශාසනය පවත්වාගෙන යෑමට තිබෙන ශක්තිමත්ම ඒකකය ධර්ම විනයකින් හෙබි මානව සම්පත් නිෂ්පාදනය කිරීමයි. දැන උගත් බවින් පොහොසත් දේශීයව සහ විදේශීයව කටයුතු කළ හැකි ලෝකයේ ඕනෑම තැනකදී එල්ල වන අභියෝග හමුවේ ක්‍රියාත්මක විය හැකි භික්ෂුන් වහන්සේලා හැදීම තුළින් පමණක් ශාසනයේ පැවැත්ම ඇති කර ගත හැකියි.

මේ වනවිට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන ගුණාත්මක භාවය වැඩි දියුණු කරමින් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ ආචාර්ය මණ්ඩලය ඉලක්ක කොට අධ්‍යයන හා පර්යේෂණ කටයුතු මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ කාර්යන් සංවර්ධනය කිරීමට ඉදිරි වසර තුන තුළ දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කිරීම මාගේ ඒකායන අරමුණයි.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ආසියාවේ බෞද්ධ අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛතාවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමේ අරමුණින් මා මෙහි මහෝපාධ්‍යායන් වහන්සේ වශයෙන් කටයුතු ආරම්භ කළේ.

මේ වනවිට විදේශ ශිෂ්‍ය හිමිවරුන් ඇතුළත් කිරීම සඳහා මෙම විශ්වවිද්‍යාලයේ වායුසමනය කළ කාමර විසිපහකින් සමන්විත අංගසම්පූර්ණ නේවාසිකාගාරයක් ඉදිකොට තිබෙනවා.

දැනට විදේශ ශිෂ්‍ය හිමිවරුන් කිහිප දෙනෙක් ඇතුළත්ව අධ්‍යයන කටයුතු කර ගෙන යනවා. ඒ අනුව ඉදිරි වසර තුන තුළ විදේශ ශිෂ්‍ය හිමිවරුන් ඇතුළත් කර ගැනීමට පියවර ගනිමින් සිටිනවා. මේ අතර දේශීය සහ විදේශීය ශිෂ්‍ය හිමිවරුන්ගේ ධර්ම, විනය දෙක පොහොසත් කිරීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

භික්ෂු විශ්වවිද්‍යාලයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමට තත්ත්ව සහතිකකරණ ඒකකය බල ගැන්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. මෙම විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා අනිකුත් විශ්වවිද්‍යාලවල මෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත නොවී ලේඛකාධිකාරිවරයා ඇතුළු ඉන් පහළ ශ්‍රේණිවල සියලු දෙනා එකාවන්ව සේවය කරනවා.” එම නිසා මෙම විශ්වවිද්‍යාලයේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යෑමට කිසිදු බාධාවක් එල්ල වී නැතැයිද මේ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජනය කරන සියලු දෙනා ශාසනික සේවාවක් වගේම පින්කමක් සේ සලකා එය මනාවවටහාගෙන වෘත්තීය කටයුතුවල නිරත වීම දැකීම සතුටට කාරණයක් බවද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

“ශාසනයේ පැවැත්ම කිසියම් විදිහකින් විහාරස්ථාන හා විශාල ගොඩනැගිලි සහ චෛත්‍ය රාජයාණන් වහන්සේලා ඉදිකිරීම තුළින් පමණක් පවත්වාගෙන යෑමට හැකියාවක් නෑ. ශාසනය පවත්වාගෙන යෑමට තිබෙන ශක්තිමත්ම ඒකකය ධර්ම විනයකින් හෙබි මානව සම්පත් නිෂ්පාදනය කිරීම සහ දැන උගත් බවින් පොහොසත් දේශීයව සහ විදේශීයව කටයුතු කළ හැකි ලෝකයේ ඕනෑම තැනකදී එල්ල වන අභියෝග හමුවේ ක්‍රියාත්මක විය හැකි භික්ෂුන් වහන්සේලා හදා දෙන එක තුළින් ශාසනයේ පැවැත්ම ඇති කර ගත හැකියි. අපි මේ සිදු කරන්නෙ එම පින්කමයි. මෙම කාර්ය ඉටු කිරීමේදී විවිධ මානසික ගැටලු විවිධ එපා වීම් සහ කලකිරීම් ඇති විය හැකියි.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...
error: Content is protected !!