පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ ඇති වූ ජනතාව තලා දැමූ ආර්ථික අර්බුදය දිවයිනේ ජනගහණයෙන් අඩකට වඩා “බහුවිධ පැතිකඩවලින් අවදානමට ලක් කර ඇති” බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් මෙහෙයවනු ලැබූ නවතම සමීක්ෂණයකින් හෙළිදරව් කර තිබේ.
2022 සහ 2023 වසර තුළ රට පුරා නිවාස 25,000ක් ආවරණය කරමින් කරනු ලැබූ මෙම අධ්‍යයනයෙන් ජනගහණයෙන් 55.7%ක් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආපදා, ජීවන තත්ත්වය යන පැතිකඩ ගණනාවකින් අවදානමට ලක්ව ඇති බව සොයාගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ මිලියන 22.16 ක ජනගහනයෙන් මිලියන 12.34 ක් අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී අවදානමට ලක්ව සිටින බව පෙන්වා දී ඇත.
මෙම සොයාගැනීම් ආහාර අනාරක්ෂිත මට්ටම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් කලින් කරන ලද පර්යේෂණවලට අනුකූල වන අතර, ඉහළ ජීවන වියදම් සමඟ පොරබැදීම සඳහා දුප්පත් පවුල් ඔවුන්ගේ ආහාර පරිභෝජනය අඩු කිරීම සහ ඔවුන්ගේ දරුවන් පාසල්වලින් ඉවත් කිරීම පිළිබඳ පුරෝකථනයන් නැවත තහවුරු කර තිබේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරන ‘Citra Social Innovation Lab’ සමඟ සහයෝගීව සිදු කරන ලද UNDP වාර්තාව පැමිණෙන්නේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ළමුන් අතර ඉහළ මන්දපෝෂණ මට්ටම් පෙන්වා දුන් UNICEF වාර්තාව රජය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවය.
මෑතකදී නිකුත් කරන ලද UNDP වාර්තාව පවසන්නේ, “බහුවිධ අවදානමට ලක්විය හැකි” අයගෙන් බහුතරයක්, එනම් 82%ක්, ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන බවයි.
තවද, රටේ ජනගහනයෙන් තුනෙන් එකක් ආහාර, වෛද්‍ය ප්‍රතිකාර සහ අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා මෙන්ම ස්වර්ණාභරණ උකස් කිරීම හෝ භාණ්ඩ විකිණීම සඳහා ණය වී ඇති බව අධ්‍යනයෙන් සොයා ගෙන තිබේ.
අම්පාර, මඩකලපුව, කිලිනොච්චි, මුලතිව්, නුවරඑළිය, පුත්තලම සහ වවුනියාව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක් කැපී පෙනෙන බහුමාන අවදානම් අගයන් පෙන්නුම් කරන අතර, ඔවුන්ගේ ජනගහනයෙන් 65% කට වඩා වැඩි පිරිසක් අවදානමට ලක්විය හැකි යැයි හඳුනාගෙන ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
අගනුවර කොළඹ සහ අසල්වැසි ගම්පහ දිස්ත්‍රික්ක අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ ඉහළම සාන්ද්‍රණයක් සහිත ප්‍රදේශ ලෙස ඉස්මතු කරතිබේ.