“මේ පාලකයෝ හිටියොත් අපේ දරුවන්ගේ පරම්පරාවටත් යුද්ධ කරගන්න සිදුවෙනවා” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක නිව්යෝර්ක් ජන හමුව අමතමින් පැවැසීය. නිව්යෝර්ක්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් සහභාගි වූ මෙම හමුව නිව්යෝර්ක් හිල්ටන් ගාඩ්න් ඉන් ශාලාවේදී පැවැත්විණි. එහිදී වැඩිදුරටත් ඔහු මෙසේද කීය.
“ලාංකිකයන් වැඩිම පිරිසක් සක්‍රියව සහභාගි වූයේ 2019 ජනාධිපතිවරණයට සහ ඉන්පසු පැමිණි මහ මැතිවරණයටයි. එහෙත් ඔබගේ අපේක්ෂාවන් අද මුළුමනින්ම විනාශ වී තිබෙනවා. එදා මෙදා තුර ආණ්ඩු හදන්න ඔබ සැම දායක වී තිබෙනවා. ආපසු හැරී බලන විට ඔබට උරුම වී තිබෙන්නේ සිත් වේදනාවක් සහ අපේක්ෂාභංගත්වයක් පමණයි. මම ඔබට එක සහතිකයක් දෙනවා.
ඔබ අප කෙරෙහි තබන විශ්වාසය බිඳුවකින් හෝ බිඳ වැටෙන්න ඉඩ නොදෙන බවට. ඔබ මේ අවස්ථාවට සහභාගි වූ අද දිනය රට වෙනුවෙන් යම් වැදගත් කාර්යයක් කළ බවට මතකයේ සිටින දිනයක් වන බවටත් මට විශ්වාසයි.
මේ විදිහට තවදුරටත් රටට හෝ ජනතාවට ඉදිරියට යන්න බැහැ. ජනතාවගේ මූලිකම අවශ්‍යතාව වන ආහාර සම්බන්ධයෙන් රටේ තිබෙන්නේ මොන වගේ තත්ත්වයක්ද? ජනගහනයෙන් 68%ක් කවර හෝ ආකාරයෙන් ආහාර අර්බුදයකට වැටී ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙනවා. මේ තත්ත්වය වෙනස් කරන්න ඕන නැද්ද? ඒ වගේම අවම සෞඛ්‍ය පහසුකම් පවා ඛේදවාචකයක් බවට පත්කර ඇති තත්ත්වය වෙනස් කරන්න ඕනෑ. ඒ වගේම අපරාධ, මත්ද්‍රව්‍ය, පාතාලය බියකරු ලෙස වර්ධනය කර තිබෙන දේශපාලන වටපිටාවක් තිබෙන්නේ.
මේ තත්ත්වය වෙනස් කරන්න, රටේ වෙනසක් ඇති කරන්න ඔබ සැමගේ සහයෝගය අපට අවශ්‍යයි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කෑ මනුස්සයා කණාමැදිරි එළියටත් බයයි කියන සැකය ඔබට තිබෙන්න පුළුවන්. එය සාධාරණයි. නමුත් ඔබට අවස්ථාවක් අද ලැබී තිබෙනවා. අපි ගැන අපෙන් අහන්න.
මෙපමණ කාලයක් බලය ගන්න බැරි වුණු අපට, මෙවර බලය ගැනීමේ හැකියාව ලැබී තිබෙන්නේ කොහොමද? දේශපාලනය ස්වාභාවිකව දශක ගණන් ඔහේ ගලාගෙන ගියත් ඒ වෙනුවට දේශපාලන පරිවර්තනයක් ඇති කිරීමට අවශ්‍ය මූලිකම පසුබිම සකස් වී තිබෙනවා. රනිල්ට විරුද්ධව මහින්ද රාජපක්ෂගේ පිල තෝරා ගත් අයට අද මොකද වී තිබෙන්නේ. පාලක පන්තියට සියලු ප්‍රතිවිරෝධතා පසෙක තබා එකතු වෙන්න තරමට අර්බුදය උග්‍ර වෙලා තිබෙන්නේ. ඒ වගේම දෙවැනුව ජනතාවට තවදුරටත් සුපුරුදු පරිදි ජීවත් වෙන්න බැරි පතුලෙන් මතුවන අර්බුදයත් ඉතාම ඉහළට ගිහින් තිබෙනවා. මේ ආකාරයට පාලකයන්ට සුපුරුදු පරිදි පාලනය පවත්වාගෙන යෑමට නොහැකි වීම සහ ජනතාවට තවදුරටත් සුපුරුදු පරිදි කටයුතු කිරීමට නොහැකි වීම සමාජ පරිවර්තනයකට අවශ්‍ය ප්‍රබලම සාධක මෙහෙයවීම දක්වා පැමිණ තිබෙනවා. දැන් බලය අත්පත් කරගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය තිබෙන්නේ අපි ළඟ. එහෙම නම් අපි තුළ තිබෙන සමත්කම් සහ අසමත්කම් මොනවාද? ඔවුන් මේ තත්ත්වයට මුහුණ දෙන්න විශාල ධනයක්, රාජ්‍ය බලයක්, මාධ්‍ය බලයක් තිබෙනවා. කොපමණද කියනවා නම්, මට ග්‍රැෆයිට් කියන වචනය පැටලීම ඩේලි මිරර් පත්තරයේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක් බවට පත් වෙනවා. මේ මාධ්‍ය බලයට සමාජ මනස විකෘති කරන්න පුළුවන්.
මහජන මතයට ඉඩ නොදී පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය හකුළා තිබෙනවා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හරි පැහැදිලිව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කරගනු ලබන ජනාධිපතිවරයකු විසින් දැරිය යුතු බව පැහැදිලිව දක්වා තිබෙනවා. පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයටත් පළාත් සභා ආණ්ඩුකාර පාලනයටත් යටත් කළ හැකි වුවත්, ලබන අවුරුද්දේ ඔක්තෝබර් 17ට පෙර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. යම් හෙයකින් ඡන්දය නොපවත්වා ඉන්න ඔහු තීරණය කරනවා නම්, ලබන අවුරුද්දේ ඔක්තෝබර් 17 දාටත් කලින් එයාට යන්න සිදු වෙනවා. සමහර අය අහනවා මෙච්චර පීඩාවක් වෙද්දිත් ජනතාව පාරට බහින්නේ නැත්තේ ඇයි කියලා. ජනතාව බලාගෙන ඉන්නේ ඔක්තෝබර්වල ජනාධිපතිවරණය පවත්වන තුරු. එය නොපවත්වන බවට සංඥාවක් ආවොත් ජනතාව පාරට බහීවි.
බලය ලබාගත්තාට පසුව රට පරිවර්තනය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් තිබෙන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සියලුම බලවේග අපි ළඟ ඉන්නවා. ඒ හැර මා හෝ මගේ පක්ෂයේ කිසිවකුත් ඉන්ද්‍රජාලිකයන් නෙවෙයි. මම ආසියාවේ ලොකුම මොළයක් නොවෙයි. මිනිස් ඉතිහාසයේ දැවැන්ත ජයග්‍රහණ හැම එකක්ම අත්පත් කරගෙන තිබෙන්නේ සාමූහික ප්‍රයත්නවලින්. මිනිසා අත්පත් කරගත් දැනුමේ එකතුවක් හැටියට. ශිෂ්ටාචාරය සාමූහික ප්‍රයත්නවලින් නිර්මාණය වී තිබෙනවා. අපේ පාලනයක් කියන්නේ ඒ සාමූහික ප්‍රයත්නයක්. ව්‍යවස්ථාව අනුව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතුයි. එයින් පත්වන ඇමැතිවරුන්ට යම් අත්දැකීමක් දැනුමක් තිබෙනවා. නමුත් අපි කිසිවකුත් සියල්ල දන්නෙ නැහැ. අපේ අධ්‍යාපන ක්‍රමය සකස් කොට තිබෙන්නේ කඩා වෙන්කොට උගන්වන්න. එක් එක් ක්ෂේත්‍රවල පෙන්වන නිපුණතාවන්ගේ සාමූහිකත්වය තුළින් අමාත්‍යාංශය මෙහෙයවන්න ඕනෑ. ඒ වෙනුවෙන් විශේෂඥ අවබෝධයන් තිබෙන සියලු ක්ෂේත්‍ර ආවරණය කරගත හැකි විශේෂඥ මණ්ඩලයක් පත් කරනවා.
ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ අපේ රට ගොඩනැඟීම සඳහා අද පවතින විනාශකාරී, කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. ඒ වගේම ආකල්පමය වෙනසක්, නවීන තාක්ෂණය යොදා ගන්නා රාජ්‍ය සේවයක් නිර්මාණය කරනවා. ඒ වගේම සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර ජාතික සමඟිය නිර්මාණය කළ යුතුයි. භාෂාවන් දෙකක් කතා කරන සිංහල, දෙමළ, මුස්ලිම් ජන කණ්ඩායම් තුනක් ඉන්නවා. ප්‍රධාන ආගම් හතරක් තිබෙනවා. බෞද්ධ ධර්මය, හින්දු ධර්මය කිතුනු ධර්මය සහ ඉස්ලාම් ධර්මය අනුව ප්‍රධාන සංස්කෘතීන් තුනක් තිබෙනවා. සිංහල බෞද්ධ, දෙමළ හින්දු සහ මුස්ලිම් ඉස්ලාම් සංස්කෘතියක් ප්‍රධාන වශයෙන්ම තිබෙනවා. වෙසක් පොසොන්, නත්තල් මහ සිකුරාදා, පාස්කු, තෛපොංගල්, රාමසාන් කියන ආගමික සංස්කෘතික උත්සව තිබෙනවා. ලංකාවේ ජනතාව සියලු දෙනා එකතු වෙලා සමරන සංස්කෘතික උළෙලක් නම් නැහැ. අපි බෙදලා තිබෙන්නේ.
අපේ පරම්පරාව යුද්ධ කරගත්තත් අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ කරගන්නේ නැති රටක් ඕනෑ. මේ පාලකයෝ හිටියොත් අපේ දරුවන්ගේ පරම්පරාවටත් යුද්ධ කරගන්න සිදු වෙනවා. ඒගොල්ලන්ට යුද්ධ නැතිව පාළුයි, පාඩුයි. යුද්ධය තිබුණා නම් තෙල් නැතිවීම, ගෑස් නැතිවීම, ණය ගෙවා ගන්න බැරි වීම, බෙහෙත් නැතිවීම, යුද්ධය නිසා බව කියනවා. ඔවුන්ට යුද්ධය නැතිව ගැටුමක් නැතිව පාළුයි වගේම පාඩුයි කියන්නේ ඒ නිසයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර සමඟිිය තිබෙන රටක් වගේම නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කරන රටක් බවට පත් කරනවා.
ධනය තිබෙන කෙනාට, බලය, තිබෙන කෙනාට එක නීතියකුත්, ධනය සහ බලය නැති කෙනාට එක නීතියකුත් වශයෙන් තිබෙන තත්ත්වය අවසන් කර නීතිය කෙරෙහි විශ්වාසය තිබෙන රටක් ගොඩනඟනවා. ශිෂ්ටසම්පන්න රටක් බිහි කිරීමේදී නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා. අපේ රටේ අත්තිවාරමෙන්ම පුපුරවාහැර තිබෙන්නේ. අපි ඒ අත්තිවාරම නැවත ශක්තිමත්ව දමා ඒ මත ආර්ථිකය ගොඩනඟනවා. ඒ තුළ අනෙකා ගැන සහකම්පනයක් සහිත තෙතමනයක් සහිත මිනිස් සමාජයක් ගොඩනඟනවා. අනාගත සුබ සිහින දකින අපේක්ෂාවන්ගෙන් පිරුණු ලංකාවක් ගොඩනැඟීම වෙනුවෙන් සියලු දෙනාම එක්වී ක්‍රියා කරමු.”
– අනුරාධා හේරත්