සැප්තැම්බර් 18 වැනි දින ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමේ නියමිත කාලසීමාවෙන් පසුව විපක්ෂ කඳවුර, මාළිමාවේ පාක්ෂිකයන් (NPP) ලෙස පෙනී සිටින තම කුමන්ත්‍රණකරුවන් යොදවා ගනිමින් ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති කළ හැකි බවට සැකයක් පවතින බව ජාතික ජන බලවේගය ඊයේ (11) ප්‍රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ ජාතික ජන බලවේගය රට තුළ ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඇති කරන බවට විපක්ෂයේ දේශපාලනඥයන් දේශපාලන වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කරන බවත් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ලෙස පෙනී සිටිමින් එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අවධානමක් පවතින බවයි.
“ලේ වැගිරීම් සිද්ධ වෙයි. පහර දෙයි වගේ මතයක් හදන්න උත්සහ කරනවා. අපි දිගින් දිගටම පැහැදිලි කළා අපි එන්නේ කලබල ඇති කරන්න නෙවෙයි කියලා. පසුගිය ජනාධිපතිවරණයේ දී 3% දක්වා පැරදුණාට පස්සෙත් අපි කලබල කළේ නැහැ. අපි කොහෙත්ම කැමති නැහැ අපේ ජනාධිපතිවරණ ජයග්‍රහණය අවලස්සන කරගන්න. කිළිටි කරගන්න. ඒකට කලු පැල්ලම් එකතු කරගන්න අපට කිසිම උවමනාවක් නැහැ. ඡන්දෙන් පස්සේ මාළිමාවට ඡන්දය දීපු අයයි මාළිමාවට ඡන්දය නොදීපු අයයි අපි ඔක්කොම එකතුවෙලා අපි මේ රට හදන්න ඕන. දිගින් දිගටම ඔවුන් මේ වගේ ප්‍රචාර අරන් යන්නේ අපිට හිතෙනවා ඔවුන් විසින්ම ගැටුම් ඇති කිරීමට ද යන්නේ කියලා. මාළිමාවේ ටී ෂර්ට් අඳින්න පුළුවන්. අත් පත්‍රිකා දාන්න පුළුවන්. ගෙදරකට ගලක් ගහලා වුණත් යම් සිදුවීම් ඇති කරන්න පුළුවන්.
ඉතිහාසේ ප්‍රථම වතාවට පරාජය දරා ගැනීමට බැරිව සිටින මේ කණ්ඩායම් රටේ කලබල ඇති කරයිද කියලා දන්නේ නැහැ. රටේ පුරවැසියෝ අවදියෙන් ඉන්න ඕන මෙක නවත්වන්න. ආරක්ෂක අංශ අවදියෙන් ඉන්න ඕන. අපේ පැත්තෙන් එහෙම දෙයක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන සහතිකය අපට දෙන්න පුළුවන්.”
ඔහු මෙහිදී ආරක්ෂක අංශවලින් වැඩිදුරටත් ඉල්ලා සිටියේ එවැනි ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට මුලකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.
ජාතික ජන බලවේගයේ පුද්ගලයකු අතින් හෝ එවැනි වරදක් සිදු වුවහොත් නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිටක පසුබට නොවන බවද ප්‍රචාරක ලේකම්වරයා අවධාරණය කර සිටියා.
“සැප්තැම්බර් 18න් පස්සේ අපිට මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න බැහැ. මාධ්‍ය ආයතනවලටත් ඒ කාලය තුළ දේශපාලන පක්ෂ ගැන කතා කරන්න අමාරුයි. මේ දේශපාලකයන්ට තමන්ගේ කුමන්ත්‍රණකරුවන් යොදවා NPP ලෙස පෙනී සිටිමින් ප්‍රචණ්ඩ සිදුවීම් ඇති කරන්න පුළුවන්ද කියලා අපිට සැකයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා පාස්කු ප්‍රහාරය නිර්මාණය කළ අයට ඒක මහලොකු දෙයක් නෙවෙයි.”