(Lakvahini) – ලංකාවේ කලා ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම ටෙලිනාට්‍ය වංශකතාවේ ඒ නම කිව්ව සැනින් අපේ මතකයට එන සුවිශේෂී රූපයක්, සදාකාලික සන්නාමයක් තමයි ඇය. එදා “දූ දරුවෝ” ටෙලිනාට්‍යයේ ස්කූටරයක් පදවපු, ඩෙනිම් කලිසමයි රෙදි බෑග් එකයි ලංකාවටම ට්‍රෙන්ඩ් එකක් කරපු ඒ සුන්දර “දීප්ති”… එහෙමත් නැත්නම් අපේ ආදරණීය ප්‍රවීණ රංගන ශිල්පිනී නිල්මිණී තෙන්නකෝන් මහත්මිය පසුගියදා අපේ වැඩසටහනකට එකතු වුණා.
ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතය, ආදරය සහ කලා ජීවිතයේ මෙතෙක් කවුරුත් නොදන්නා අතිශය සංවේදී සහ ආන්දෝලනාත්මක රහස් රැසක් මෙහිදී අනාවරණය කළා!
ඉතින්, හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි, එදා වගේම අදටත් නිල්මිණී තෙන්නකෝන් තමන්ගේ තරුණ බව රැකගෙන මේ ක්ෂේත්‍රයේ ඉන්නේ කොහොමද කියන එක. අන්න ඒකට ඇය දුන්නේ මරු උත්තරයක්! ඇය කියනවා, “මම කාර්යබහුල වුණත් මාව මම ආරක්ෂා කරගන්නවා, මොකද මම මට ආදරෙයි” කියලා. තමන් තමන්ට ආදරය කළොත් විතරයි ගෙදර ඉන්න අම්මව, දුවව වගේම වටපිටාව බලාගන්න ශක්තියක් ලැබෙන්නේ කියන එක ඇය බොහොම ආදර්ශමත්ව මතක් කරලා දුන්නා.
ඒ වගේම තමයි ප්‍රේක්ෂකයින් වන ඔබ දන්නවාද, ජාතික රූපවාහිනිය නිල වශයෙන් විවෘත කරන්නත් කලින්, ඒ ආරම්භක උත්සවය වෙනුවෙන් කරපු “සසර” මුද්‍රා බැලේ එකේ හංසයෙකුට නටන්න නිල්මිණී තෙන්නකෝන් මහත්මිය ගිහින් තියෙන්නේ තමන්ගේ පාසල් නිල ඇඳුම පිටින්මයි! වජිරා-චිත්‍රසේන, ගුවන්විදුලි ශිල්පිනියක් වන චිත්‍රා කුමාරි කළුබෝවිල වැනි ප්‍රවීණයන්ගෙන් නර්තනය හදාරපු ඇය, නැටුම් පන්ති පහකට එකවර ගිය අපූර්ව අතීතයකුත් සිහිපත් කළා.
හැබැයි මේ හැමදේම අස්සේ ඇගේ ඇසට කඳුළක් උනන සංවේදී මතකයකුත් ඇය අවදි කළා. ඇගේ තාත්තා, ඒ කියන්නේ ප්‍රසිද්ධ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වුණු පියදාස තෙන්නකෝන් මහතා ලියපු වෙසක් නාට්‍යයක රොඩී කුමාරිකාවකගේ චරිතයක් කරන්න බෑ, ඇඟ පේනවා වැඩියි කියලා මුරණ්ඩු වුණු නිල්මිණීට, තාත්තාගෙන් ජීවිතේ පළමු වතාවට පාරක් ලැබිලා තියෙනවා. හැබැයි කනගාටුවට කරුණ තමයි, ඇය රූපවාහිනියෙන් දකිද්දී තාත්තා කිව්වේ “ඔයා මගේ නම ප්‍රසිද්ධ කරයි වගේ” කියලා විතරයි. ඇය පාසල් යන කාලේදීම තාත්තා මෙලොවින් සමුගෙන තිබෙනවා.
දැන් අපි එමු මෙන්න මේ වැදගත්ම කතාවට! නිල්මිණී තෙන්නකෝන් සිනමාව ඇතුළේ ප්‍රධාන චරිතවලින් දකින්න ලැබුණේ හරිම අඩුවෙන්. ඇයි මෙහෙම වුණේ? ඇත්තටම ඇයට සිනමාව මගහැරුණාද, නැත්නම් ඇය විසින්ම මගහැරගත්තාද?
ලක්වාහිනී අපිට ඇය හෙළි කළ රහස තමයි, 92 වසර වෙනකොට ඇගේ ජීවිතයේ “පීක්” එකේම, ඒ කියන්නේ හොඳම තරුණ වයසේදී ඇයට හිටපු පෙම්වතාගේ කීමට ඇය මුළු අවුරුද්දක්ම රඟපාන්නේ නැතුව කලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා ඉඳලා තියෙනවා! ආදරය වෙනුවෙන් ඇය කරපු ඒ පරිත්‍යාගය නිසා මලයාලම් චිත්‍රපට දෙකක්, ද්‍රවිඩ චිත්‍රපට දෙකක් වගේම වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක වැනි දැවැන්ත අධ්‍යක්ෂවරුන්ගේ සිනමා පට 15ක් 20ක් විතර ඇයට අහිමි වෙලා තියෙනවා. සමහර ඒවට බෝයිෆ්‍රෙන්ඩ් තනියම යන්න දෙන්න බෑ කියද්දී, සමහර නිර්මාණවල සිගරට් බොන්න තිබුණු නිසා ඇයම “බෑ” කියලා තියෙනවා.
පසුකාලීනව උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ “බහුභාර්යා” චිත්‍රපටයේ ආන්දෝලනාත්මක දර්ශනවලට පෙනී සිටින්නට බැරි බව පවසමින් ඇය ඒ අවස්ථාවත් ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ තමන්ගේම තීරණයකට අනුවයි.
අවසාන වශයෙන් වර්තමාන නවක නිළියන්ටත් ඇය ලොකු පණිවිඩයක් දුන්නා. “සෝෂල් මීඩියා සහ ෆෝන් එක දිහාම බල බලා ඉන්නේ නැතුව, තමන්ගේ මූණේ ස්වභාවික හැඟීම් මතු කරන්න ඉගෙන ගන්න. පෙනුම කෘතිමව වෙනස් කරගන්න ගියොත් රංගනයෙන් ඉදිරියට යන්න බෑ. ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් ශාස්ත්‍රීය දැනුම සහ ප්‍රවීණයන් රඟපාන දිහා බලාගෙන ඉගෙනීම අත්‍යවශ්‍යයි” කියන එක ඇය අවධාරණය කළා.
ඇත්තටම නිල්මිණී තෙන්නකෝන් කියන්නේ රංගනය විතරක් නෙමෙයි, තාක්ෂණික දැනුම, කැමරාව, ආලෝකකරණය වගේම තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන පවා පුදුමාකාර අවධානයකින් වැඩ කරපු අතිශය පරිණත සැබෑ කලාකාරිනියක්.
