(Lakvahini) – මේ දවස්වල අපේ පුංචි තිරය හැඩකරන, හැමෝම පිස්සුවෙන් වගේ බලන සුපිරිම ටෙලිනාට්‍යයක් තමයි ‘කොළඹ කට්ටිය’. ඉතින් මේ කතාවේ ඉන්න, ප්‍රේක්ෂකයෝ හැමෝම ආදරය කරන, හැමෝගෙම හිත් හොරකම් කරපු ‘තමාෂා’ව ඔයාලට මතකයිනේ? ඔව්! කාලෙකට පස්සේ ආයෙමත් ලංකාවට ඇවිත් පුංචි තිරය හොල්ලගෙන ඉන්න ඒ සුන්දර, ආදරණීය රංගන ශිල්පිනිය තමයි ශෙනායා වැනොෆ්!
අද අපි කියන්න යන්නේ, හැමෝම ආදරය කරන ශෙනායා, ඇගේ අලුත්ම තොරතුරු කිහිපයක් ගැනයි!
ශෙනායා කාලයක් විදෙස්ගත වෙලා ඉඳලා ලංකාවට ආපු ගමන්ම, නාලිකා දෙකක් එකපාර අල්ලගෙන තියෙනවා. මේ දවස්වල ඇයව ටීවී දෙරණේ ‘කොළඹ කට්ටිය’ ටෙලිනාට්‍යයෙන් වගේම, හිරු ටීවී එකේ විකාශය වන ‘ඇත්තටම මං ඔයාට ආදරෙයි’ ටෙලිනාට්‍යය හරහාත් එකලෙස දැකගන්න පුළුවන්.
හැබැයි ‘කොළඹ කට්ටිය’ එකේ ඇය කරන තමාෂාගේ චරිතය සැබෑ ජීවිතයට වඩා සෑහෙන්න වෙනස්ලු. සැබෑ ජීවිතයේ නිළියක් වන ශෙනායාට, කැමරාව ඉස්සරහත් කරන්න ලැබිලා තියෙන්නේ නිළියකගේම චරිතයක්. හැබැයි ලොකුම වැඩේ කියන්නේ, ඒක ගැමි නිළියකගේ චරිතයක්ලු! ඉතින් බටහිර පෙනුමක් තියෙන ශෙනායාට තමන්ගේ කතාව, පෙනුම, අඳින පළඳින විදිය පවා මේ වෙනුවෙන් වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මුලින් අභියෝගයක් වුණත්, දැන් නම් ශෙනායා තමාෂාගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටුකරනවා කියලා අපිට පේනවා.
ඔයාලා දන්නවාද ශෙනායාගේ රංගන ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ඒ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද කියලා? ඒ තමයි මීට අවුරුදු කිහිපයකට කලින් ස්වර්ණවාහිනියේ විකාශය වුණු ‘සල්ලි පොකුරු’ ටෙලිනාට්‍යය. ඒකෙ ඇය ‘පිංකි’ සහ ‘හරිනි’ කියලා අහසට පොළොව වගේ වෙනස්, ද්විත්ව චරිත දෙකක් එකම කතාවක රඟපාලා ප්‍රේක්ෂකයින්ව පුදුම කරවන්න සමත් වුණා.
මෙච්චර දක්ෂ විදියට රඟපාන ශෙනායාගේ පුංචි කාලේ හීනය වෙලා තිබුණේ නිළියක් වෙන්න නෙවෙයිලු! පුංචි ළමයින්ට තියෙන ආදරේ නිසා ඇයට ඕන වුණේ ‘පෙරපාසල් ගුරුවරියක්’ වෙන්න. හැබැයි වයස අවුරුදු 17 දී Hip Hop ඩාන්සින් ක්ලාස් එකකට ගියපු ඇයට, එහි ගුරුවරයා හරහා සුප්‍රසිද්ධ වෙළඳ දැන්වීමකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අන්න ඒ වෙළඳ දැන්වීමෙන් පස්සේ තමයි ශෙනායාට සිරස ටීවී එකේ ‘හිත ළඟ හිනැහුනා’ ටෙලිනාට්‍යය හරහා රංගනයට පාර කැපෙන්නේ.
ටෙලිනාට්‍යවලින් වගේම ශෙනායා 2024 අවුරුද්දේ තිරගත වුණු ‘සෝලෝ ටවුන්’ චිත්‍රපටය හරහා සිනමාවටත් එකතු වුණා. හැබැයි ඇගේ හිතේ තියෙන ලොකුම ආසාවක් ගැනත් ඇය මතක් කළා. ශෙනායා කියන්නේ Hip Hop නර්තනයට උපන්හපන් කෙල්ලෙක්. ඉතින් ඇය කියන්නේ තමන්ගේ මේ නර්තන හැකියාව පෙන්වන්න පුළුවන් විදියේ ‘ඩාන්සින් ෆිල්ම්’ එකකට හෝ චරිතයකට ආරාධනා ලැබෙනවා නම් ඒක ඇගේ ජීවිතේ තවත් ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් වෙයි කියලා.
ඒ විතරක් නෙවෙයි ශූටින් නැති දවසට වත්තල තමන්ගේ නිවසේ කාලය ගත කරන ශෙනායාට චිත්‍රපට බලන්න වගේම, ලස්සනට චිත්‍ර අඳින්නත් පුළුවන්ලු!
රංගනයට ඇවිත් ඉතාමත් කෙටි කාලයකින්, තමන්ව දැක්කම සතුටට ඇඬෙන තරම් ආදරණීය රසික රසිකාවියන් පිරිසක් දිනාගන්න ශෙනායා වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින්, අම්මා, තාත්තා සහ අක්කලා තුන්දෙනාගෙන් ලැබෙන හයියත් එක්ක, ශෙනායාගේ ජීවිතේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි දවසක දක්ෂතම නිළියකට හිමි ‘සම්මානයක්’ තමන්ගේ දෝතට ගන්න එක.
ඉතින්, අපිත් ප්‍රාර්ථනා කරමු අපේ ආදරණීය ශෙනායාගේ ඒ සුන්දර බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුන්න කියලා!
