මේ රටේ සුළු ජාතියක් නෑ… අපි හැමෝම එකම මහා ජාතියක්! – දිලිත් ජයවීර

(Lakvahini) – ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සංදර්භය තුළ ඡන්ද ලබාගැනීමේ පටු අරමුණින් ක්‍රියාත්මක වන “බොරු ආගමික සංහිඳියාව” වෙනුවට, සියලු ජනවර්ග සමාන කොට සලකන අවංක ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍ය බව සර්වජන බලය සංධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.

මරදානේ පැවැති ජනහමුවක් අමතමින් ජයවීර මහතා අවධාරණය කළේ, සාම්ප්‍රදායික දේශපාලනඥයන් විසින් මෙරට ජනතාව “ඡන්ද කෑල්ලක්” ලෙස පමණක් සලකා කිරි පැකට්ටුවකට හෝ ගල් බනිස් ගෙඩියකට ඔවුන්ගේ ස්වෛරීභාවය මිලදී ගැනීමට උත්සාහ කරන පුහු දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

“සුළු ජාතීන්” සංකල්පය ප්‍රතික්ෂේප කිරීම..
ශ්‍රී ලංකාව තුළ වෙසෙන කිසිදු ජනකොටසක් කොන් කිරීමකට හෝ “සුළු කොට” තැකීමකට ලක් නොකළ යුතු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මෙරට දේශපාලන ව්‍යුහය තුළ මුල් බැසගෙන ඇති “සුළු ජාතීන්” යන වදන් මාලාව ද සෘජුවම ප්‍රතික්ෂේප කළේය.

“මේ රටේ සුළු ජාතිය කියලා එකක් නැහැ, තියෙන්න විදිහක්ත් නැහැ. මොකද අපේ බෞද්ධ සභ්‍යත්වය කියන්නේ කවුරුත් සුළු කොට තකන පරිසරයක් නොවෙයි. අපි හැමෝම එකම මහා ජාතියක්. ‘සර්වජන බලය’ යටතේ කිසිම ජනවර්ගයකට තමන් ‘සුළු’ පිරිසක් යැයි සිතන්නට අපි ඉඩ තබන්නේ නැහැ.” – දිලිත් ජයවීර

ආගමික සහජීවනය සහ අතීත අත්දැකීම්..
තමා කුඩා කල පටන් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේ පටන් බෞද්ධ, මුස්ලිම්, හින්දු සහ කතෝලික මිතුරන් සමඟ කිසිදු භේදයකින් තොරව සහෝදරත්වයෙන් හැදී වැඩුණු ආකාරය ජයවීර මහතා මෙහිදී සිහිපත් කළේය. සැබෑ සහජීවනය යනු දේශපාලන වේදිකාවල කියවන වචනවලට සීමා නොවී, මිනිසුන්ගේ හදවතින්ම දැනිය යුතු එකක් බව ඔහු පැවසීය.

විපතකදී හෝ ආර්ථික අපහසුතාවකදී මිනිසුන් ජාති හෝ ආගම් භේද නොබලන බව පෙන්වා දුන් ඒ මහතා, පසුගිය කාලසීමාවන්හිදී මෙරට ඇති වූ අර්බුදකාරී අවස්ථාවන් කිහිපයකදීම තමන් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් දේශපාලන වාසි තකා නොව, මානුෂීය පදනමින් මැදිහත් වූ ආකාරය දත්ත සහිතව පැහැදිලි කළේය:

පාස්කු ප්‍රහාරය: පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ දින රාත්‍රියේ, වටපිටාවේ ඇති විය හැකිව තිබූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ මුස්ලිම් ජාතිකයන් සියයකට අධික පිරිසකට තමන්ගේ පෞද්ගලික නිවසේ රැකවරණය සැලසීම.

කොවිඩ් භූමදාන අර්බුදය: කොවිඩ් වසංගත සමයේ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික විශ්වාසයන්ට ගරු කරමින් භූමදාන අයිතිය ලබාදීම වෙනුවෙන් දේශපාලන නායකයන් සහ මහා සංඝරත්නය දැනුවත් කරමින් සිදුකළ බලපෑම.

NGO සහ ඩොලර් සංහිඳියාවට එරෙහිව..
වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ රාජ්‍ය නොවන සංවිධාන (NGO) සහ විදේශීය ඩොලර් මත යැපෙමින් කෘතිම සංහිඳියාවක් මවාපෑමට ගන්නා උත්සාහයන් ජයවීර මහතාගේ දැඩි විවේචනයට ලක්විය. රටට අවශ්‍ය කරන්නේ ඩොලර් සංහිඳියාවක් හෝ ඡන්ද කුට්ටි කඩාගැනීමේ උපක්‍රමයක් නොව, එකිනෙකාට ගරු කරන සැබෑ සංස්කෘතික සභ්‍යත්වයක් බව ඔහු කියා සිටියේය.

“අතීතයේ දේශපාලනඥයන් තමන්ගේ වාසියට ජාතිවාදය පාවිච්චි කරලා ඉතිහාසය පුරා වැරදි කරලා තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ලෝකය දියුණු වෙද්දී අපිට තවදුරටත් ගල් යුගයේ ඉන්න බැහැ. අපේ රටේ නූපන් දරුවාගේ ඉඳලා තාරුණ්‍යයට වඩා යහපත් අනාගතයක් අවශ්‍යයි,” යැයි ඔහු පැවසීය.

අවසාන වශයෙන් අදහස් දැක්වූ සර්වජන බලය නායකයා කියා සිටියේ, ජාති හෝ ආගම් භේදයකින් තොරව, අවම කොන්දේසි මත හෝ ඕනෑම පුද්ගලයෙකු ඒකාබද්ධ කරගනිමින් රට තුළ සාධාරණත්වය සහ සමානාත්මතාවය තහවුරු කිරීම තම සංධානයේ මූලිකම දේශපාලන ප්‍රකාශනය සහ සහතිකය වන බවයි.

Latest News

error: Content is protected !!