(Lakvahini) – කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව වලාන දූෂණ මර්ධන ඒකකය සහ තලංගම පොලිසිය ඒකාබද්ධව තලවතුගොඩ ප්‍රදේශයේ සිදුකළ දැවැන්ත වැටලීමකදී සම්බාහන මධ්‍යස්ථාන නවයක් වටලා කාන්තාවන් 34 දෙනෙකු සහ කළමනාකරුවන් නවදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කෙසේ වුවද, මෙම වැටලීමේදී සැකකාර කාන්තාවන්ගේ අනන්‍යතාවය මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි සදාචාරාත්මක සහ මානව හිමිකම් පිළිබඳ විවේචනයක් මතුවෙමින් පවතී.
පොලිස් කණ්ඩායම් නවයක් යොදවා සිදුකළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වූ කාන්තාවන් වයස අවුරුදු 19ත් 43ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බත්තරමුල්ලේ සිට පන්නිපිටිය දක්වා වූ කලාපය තුළ පමණක් සම්බාහන මධ්‍යස්ථාන 60කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බවත්, ඉන් ඇතැම් ස්ථාන සුවතා මධ්‍යස්ථාන මුවාවෙන් රහසිගත ගණිකා නිවාස ලෙස පවත්වාගෙන යන බවත් වාර්තා වේ.
නීති විශාරදයන් පෙන්වා දෙන්නේ වත්මන් ශ්‍රී ලංකා නීතියට අනුව පුද්ගලිකව ස්වකීය කැමැත්ත මත ගණිකා වෘත්තියේ යෙදීම සෘජුවම තහනම් කර නොමැති වුවද, ඒ සඳහා වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම, අනුබල දීම හෝ ගණිකා නිවාස පවත්වාගෙන යාම නීති විරෝධී වන බැවින් පොලිසියට මෙම වැටලීම් සිදුකිරීමේ නීත්‍යානුකූල බලය පවතින බවයි.
කෙසේ වුවද, මෙම නීතිමය ක්‍රියාවලිය ඉක්මවා යමින් සැකකාරියන් අධිකරණයෙන් වැරදිකරුවන් කිරීමට පෙර, ඔවුන්ගේ මුහුණු සහ අනන්‍යතාවය බ්ලර් (Blur – බොඳ කිරීම) කිරීමකින් තොරව මාධ්‍ය වෙත නිරාවරණය කිරීමට පොලිසිය අවසර දීම බරපතල ගැටලුවක් බව මාධ්‍ය විශ්ලේෂකයෝ පවසති.
මෙමඟින් අදාළ කාන්තාවන්ගේ දරුවන් සහ පවුල්වල සාමාජිකයන් දැඩි සමාජ අපහසුතාවයකට පත්වන අතර, මෙය ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ද වේ. මෙම මාධ්‍ය සංදර්ශනය පිළිබඳව පොලිස්පතිවරයා පවා කල්තියා දැනුවත් වී නොමැති බව වාර්තා වේ.
මේ අතර, ලෝකයේ තායිලන්තය වැනි දියුණු සහ බෞද්ධ රටවල් පවා ආදර්ශයට ගනිමින්, මෙම ක්ෂේත්‍රය රහසිගතව පවත්වාගෙන යාමට ඉඩ හැරීම වෙනුවට රජයේ නිසි අධීක්ෂණය සහ වෛද්‍ය පරීක්ෂණ ක්‍රමවේද යටතේ වෘත්තීය මට්ටමකින් (Professional) නීතිගත කළ යුතු බවට ද සමාජය තුළ නව මතවාදයක් ගොඩනැඟෙමින් පවතී. එසේ කිරීමෙන් ලිංගිකව බෝවන රෝග පාලනය කිරීමට මෙන්ම, ඇතැම් දූෂිත පොලිස් නිලධාරීන් විසින් පවත්වාගෙන යනු ලබන කප්පම් ලබාගැනීමේ ජාවාරම් ද තුරන් කළ හැකි බව එම මතවාදයන් පෙන්වා දෙයි.
පොලිසිය විසින් සිදුකරන ලද මෙම වැටලීම නීත්‍යානුකූලව අනුමත කළ හැකි වුවද, සැකකාරියන් මහජන ප්‍රදර්ශන භාණ්ඩ බවට පත්කරමින් සිදුකළ “මාධ්‍ය සංදර්ශනය” කිසිසේත්ම සදාචාරාත්මක නොවන පහත් ක්‍රියාවක් බව සිවිල් සංවිධාන අවධාරණය කරයි.
