නැවත ජාතිවාදය හිස ඔසවන්න දෙන්නේ නැහැ – ලාල්කාන්ත දැඩිව කියයි

(Lakvahini) – ශ්‍රී ලංකාව තුළ නැවත කිසිදු ආකාරයකින් ජාතිවාදී දේශපාලන ප්‍රවණතාවලට හෝ සංවිධානවලට හිස එසවීමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර, අකුරණ ප්‍රදේශයේ පිහිටි මීසාන් ඉන්ස්ටිටියුට් (Meezan Institute) ආයතනයේ පැවැති සහතික පත්‍ර ප්‍රදානෝත්සවයකට ඊයේ (20) දින ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

පසුගිය වකවානුව පුරා ශ්‍රී ලාංකීය සමාජය ජාතිවාදී දේශපාලනය හේතුවෙන් දැඩි ලෙස බැටකා ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සංවිධානාත්මක ලෙස ජාතිවාදය පතුරුවන කණ්ඩායම්වල පැවැත්ම සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට වත්මන් පරිපාලනය දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සඳහන් කළේය.

විශේෂයෙන්ම, පසුගිය සමයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා මුහුණ දුන් සිදුවීම් මාලාව සිහිපත් කරමින් අමාත්‍ය ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේ, වෛද්‍ය සාෆි දඩයම් කරනු ලැබුවේ ද අන්තවාදී ජාතිවාදී ව්‍යාපාරයන් විසින් බවයි. “විවිධ පාර්ශව අසත්‍ය මත ගොඩනඟද්දී, අපි සැමවිටම පෙනී සිටියේ වෛද්‍ය සාෆි වෙනුවෙන්. ඒ කියන්නේ යුක්තිය සහ සාධාරණය වෙනුවෙන්,” යැයි ඔහු පවසා සිටියේය.

රටේ පවත්නා අධ්‍යාපන ක්‍රමවේදය සහ පුරවැසි වගකීම පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, හුදෙක් වෘත්තීය සුදුසුකම් සපුරාලීමට අමතරව, පොදු සමාජ සදාචාරය හා අන්‍යෝන්‍ය ගෞරවය සුරකින පුරවැසියන් බිහි කිරීම අධ්‍යාපනයේ මූලික වගකීමක් විය යුතු බව ප්‍රකාශ කළේය.

ආගමික නිදහස සම්බන්ධයෙන් සුළුතර ප්‍රජාවන් තුළ පවතින බිය සහ විපක්ෂ කණ්ඩායම් විසින් පතුරුවනු ලබන දේශපාලන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, වත්මන් රජය සිය භාවිතාව තුළින්ම සියලුම ජනකොටස්වල ආගමික හා සංස්කෘතික නිදහස තහවුරු කර ඇති බවත්, ඉදිරියටත් එය එලෙසම සුරකින බවත් සහතික විය.

අධ්‍යාපනය මුදලට විකිණීමේ වාණිජ පරමාර්ථයෙන් බැහැරව මෙවැනි ආයතන සිදුකරන සමාජ මෙහෙවර අගය කළ අමාත්‍යවරයා, ඒ සඳහා රජයේ උපරිම සහයෝගය ලබාදෙන බව ද වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට මීසාන් ඉන්ස්ටිටියුට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය ද, දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රියාස් ෆාරුක් යන මහත්වරුන් ද සහභාගී වී සිටියහ.

Latest News

error: Content is protected !!