කුරුළුගෙන් රජදහනට! අවුරුදු 4කට පස්සේ ටනාශා යළිත් රිදී තිරය ජයගන්න එයි

(Lakvahini) – ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ කුරුළු චරිතයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ටනාශා සතරසිංහ, දැන් යළිත් කතාබහට ලක්වෙලා තියෙන්නෙ ‘රජදහන’ චිත්‍රපටයත් එක්කයි.

ටනාශා කියන්නෙ මේක සාමාන්‍ය චිත්‍රපටයක් නෙවෙයි කියලා. පවුලේ හැමෝටම එකට වාඩි වෙලා බලන්න පුළුවන්, සමාජයට පණිවිඩයක් දෙන වෙනස්ම නිර්මාණයක් බවයි ඇය කියන්නේ.

විශේෂම කාරණාව තමයි… අවුරුදු හතරකට පස්සෙ ටනාශා රංගනයෙන් දායක වූ චිත්‍රපටයක් ප්‍රේක්ෂකයන්ට දැකගන්න ලැබෙන්නෙත් මේ ‘රජදහන’ හරහා වීම! 😍🎥

ඒ වගේම මේ චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකරලා තියෙන්නෙ සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ. දින ගණනාවක් නුවර නවාතැන් ගෙන කළ ඒ අත්දැකීම තමන්ට අමතක නොවන මතකයක් බව ටනාශා පවසනවා.

තවත් ආකර්ෂණීය සිදුවීමක් වෙලා තියෙන්නෙ චිත්‍රපටයේ එක් ගීතයක් සඳහා සිදුකළ රූගත කිරීමක්. ලංකාවේ පළමු මිනිරන් පතලක, කේබල් ආධාරයෙන් ඉහළට නැගලා සිදුකළ ඒ දර්ශන තවමත් ඇයට අමතක නොවන අත්දැකීමක්ලු! 😱

අමිල කරුණානායක සමඟ වැඩ කිරීම ගැනත් ටනාශා කතා කළා. ක්ෂේත්‍රයට අලුත් කෙනෙක් ලෙස පැමිණි තමන්ට අමිලගෙන් ලැබුණු සහයෝගය ඉතා විශාල බවත්, තම චරිතය සාර්ථක කරගන්න ඒ සහයෝගය මහත් පිටුවහලක් වූ බවත් ඇය කියනවා.

ඒ අතරේ ටනාශා තවත් වැදගත් දෙයක් හෙළි කළා. එකම ආකාරයේ චරිත නැවත නැවත කිරීමෙන් ප්‍රේක්ෂකයන්ට එපා වෙයි කියලා හිතන නිසා, දැන් ඇය නිර්මාණ තෝරාගන්නේ ඉතා සැලකිලිමත්වයි.

ක්ෂේත්‍රයේ බලපෑම් ගැන නිතර කතාබහක් තිබුණත්, තමන්ට නම් අද වනතුරු කිසිම අයෙකුගෙන් අසාධාරණ බලපෑමක් එල්ල වී නැති බවත්, සියලු දෙනා සමඟ හොඳ සබඳතාවකින් කටයුතු කරන බවත් ටනාශා අවධාරණය කළා.

ඒ වගේම ඇයගේ සාර්ථක ගමන පිටුපස සිටින විශේෂ පුද්ගලයා ගැනත් ටනාශා ආදරයෙන් මතක් කළා. ඒ තමන්ගේ සැමියා වන අනුරාධ. විවාහයෙන් පසු කිසිදු සීමාවක් හෝ නීතියක් පනවා නොදී, තම වෘත්තීය ජීවිතයට උපරිම සහයෝගය ලබාදෙන කෙනෙක් ලෙසයි ඇය ඔහුව හඳුන්වන්නේ. ❤️

‘රන් දේදුන්න’ චිත්‍රපටයෙන් ඇරඹුණු ටනාශාගේ කලා ගමන, ‘නීල පබළු’ හි කුරුළු චරිතයෙන් ජනප්‍රියත්වයේ උච්චතම ස්ථානයට ගියා. දැන් ‘රජදහන’ සමඟ ඇය නැවතත් රිදී තිරය ජයගන්න සූදානම් වෙලා ඉන්නවා. 🌟🎬

Latest News

error: Content is protected !!