සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා සජීවී මුහුණට මුහුණ සාකච්ඡාවලට බියක් දක්වන බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර එම වැඩසටහන පටිගත කරනු ලැබූ වැඩසටහනක් බවට පළවන විවේචන පිළිබඳ මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින්.
ඊට පිළිතුරු දෙමින් සාමාන්‍ය ජනතාව සජිත් ප්‍රේමදාස මහතා පිළිබඳ එවැනි සැකයක් ඇති කර ගැනීම සාධාරණ බවයි ඔහු සඳහන් කළේ.
“සාමාන්‍ය ජනතාව සජිත් ප්‍රේමදාස මහතා ගැන එහෙම සැකයක් හදාගන්න එක හරිම සාධාරණයි. වන් ටු වන් සාකච්ඡා මඟ හරින කෙනෙක්. සෑම රූපවාහිනී නාලිකාවකම ඔවුන් ඡන්දෙට කලින් වගේම ඡන්දෙට පසුව විවිධ සාකච්ඡා පවත්වනවා. හැම නාළිකාවකම ඒක තියෙනවා. සඳුදා ඉඳන් සිකුරාදා දක්වා එවැනි සාකච්ඡා පවත්වනවා අපේ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මේවට ඇති තරම් සහභාගී වෙලා තියෙනවා. ඒ මාධ්‍යවේදීන් අහන ප්‍රශ්ණවලට සෘජුව හරි පොයින්ට් එකට උත්තර දීලා තියෙනවා. සාමාන්‍ය සමාජෙන් ඔහුට ඇගයීමකුත් තියෙනවා කිසිම කොළ කෑල්ලක්වත් ගෙනියන්නෙ නැතුව හොඳ මතක ශක්තියකින් සංයුක්තව විද්‍යානුකූලව ඒවට පිළිතුරු ලබා දෙනව කියලා.
හැබැයි අපි දැක්කෙ නෑ සජිත් ප්‍රේමදාස එවැනි අවස්ථාවලට සහභාගී වෙනවා.අපි දන්නවා මාධ්‍ය ආයතනවලින් ඔහුට ආරධනා කලත් ඔහු ඒවා මඟ අරිමින් හිටියා.”
එමෙන්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර විවාදයක් පිළිබඳ රටේ විශාල සාකච්ඡාවක් මතු වූ විට ද සජිත් ප්‍රේමදාස මහතා එය මඟ හැරීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.