(Lakvahini) – ඇමෙරිකානු ඔලිම්පික් මූලික ජිම්නාස්ටික් සංචිතය නියෝජනය කරමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් 18 හැවිරිදි ටියානා සුමනසේකර (Tiana Sumanasekera), මින් ඉදිරියට ජාත්‍යන්තර තරග බිමේදී සිය මව්පියන්ගේ උපන් දේශය වන ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තීරණය කර තිබේ.
ඇය සිය ක්‍රීඩා අනන්‍යතාවය ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව දක්වා වෙනස් කිරීමට ජාත්‍යන්තර ජිම්නාස්ටික් සම්මේලනය (FIG) වෙත ඉදිරිපත් කළ ඉල්ලීමට නිල අනුමැතිය හිමිව ඇති අතර, ඊට අදාළ ලියාපදිංචිය මෙරට ක්‍රීඩා අමාත්‍යාංශය වෙතින් ද ලබාගෙන ඇති බව වාර්තා වේ.
2021 වසරේ සිට ඇමෙරිකානු ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමේ ප්‍රමුඛ සාමාජිකාවක වූ ටියානා, 2024 පැරිස් ඔලිම්පික් උළෙල සඳහා නම් කළ ඇමෙරිකානු සංචිතයේ අතිරේක ක්‍රීඩිකාවක (Olympic Alternate) ලෙස ද කටයුතු කළාය. ඇමෙරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.
සිය තීරණය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ටියානා ප්‍රකාශ කර සිටියේ මෙය ඇගේ ක්‍රීඩා ජීවිතයේ ආඩම්බරකාරී මෙන්ම හැඟීම්බර සන්ධිස්ථානයක් බවයි.
“පසුගිය වසර 5 පුරා ඇමෙරිකානු කණ්ඩායම නියෝජනය කිරීමට ලැබීම මා ලැබූ විශාල ගෞරවයක්. නමුත් මින් ඉදිරියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම සැබෑ කරගත නොහැකි යැයි සිතූ සිහිනයක් සැබෑ වීමක් බඳුයි. ඔලිම්පික් තරගාවලියකට සහභාගී වීම මගේ ලොකුම හීනයක් වන අතර, මගේ හදවතට බෙහෙවින්ම සමීප රටක් වෙනුවෙන් ක්‍රීඩා කරමින් මගේ උරුමයට ගරු කිරීමට ලැබීම එය තවත් සුවිශේෂී කරනවා.”
ශ්‍රී ලංකාවේ මෙන්ම සමස්ත දකුණු ආසියානු කලාපයේම ජිම්නාස්ටික් ක්‍රීඩාවට පවතින නියෝජනය සහ අවධානය අවම මට්ටමක පවතින බැවින්, මෙම තීරණය හරහා එම කලාපයේ ක්‍රීඩාවේ උන්නතියට දායක වීමට තමා බලාපොරොත්තු වන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
2007 වසරේ කැලිෆෝනියාවේදී ශ්‍රී ලාංකික සංක්‍රමණික මව්පියන් වන රුවන්ගි සහ රජිත සුමනසේකර යුවළට දාව උපත ලැබූ ටියානා, 2023 වසරේ පැවැත්වුණු පෑන් ඇමරිකානු ශූරතාවලියේ (Pan American Championship) සමස්ත රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය. පසුව ඇය සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා සයිමන් බයිල්ස් (Simone Biles) සමඟ ටෙක්සාස්හි ‘වර්ල්ඩ් චැම්පියන්ස් සෙන්ටර්’ හි පුහුණුවීම් ලැබුවාය.
මේ වන විට ඇය ඇමෙරිකාවේ UCLA බෲයින්ස් (UCLA Bruins) විශ්වවිද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දක්ෂතා දක්වන අතර, ඇය ඉදිරිපත් කළ බොලිවුඩ් තේමාව රැගත්Floor Routine එක ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානයට ලක්විය.
මීට පෙර 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී මිල්කා ගෙහානි ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඉදිරිපත් වූ පළමු ක්‍රීඩිකාව ලෙස ඉතිහාසයට එක්විය. ටියානා සුමනසේකරගේ පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් කණ්ඩායමේ ශක්තිය බෙහෙවින් ඉහළ යන අතර, 2028 ලොස් ඇන්ජලීස් (LA 2028) ඔලිම්පික් උළෙල ඉලක්ක කරගනිමින් ඇය මෙලෙස ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානම් වේ.
