මෙරට ඉතිහාසයේ සිදු වූ තවත් එක් මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයක් වන පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයට අදට (21) වසර පහකි.
වසර පහක් ගත වී ඇතත් එම ප්‍රහාරයට වගකිව යුතු සැබෑ අපරධකරුවන් සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ රජය අසමත් වූ වාතාවරණයක එම ප්‍රහාරය හා සම්බන්ධ නොවිසඳුණු අබිරහස් 8 ක් ඇති බව කතෝලික සභාව පවසනවා.
පසුගිය දා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට තමා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවූ අවස්ථාවේ ඒ පිළිබඳ දැනුම් දුන් බව කොළඹ අගරදගරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් ප්‍රකාශ කළා.
උන්වහන්සේගේ අනාවරණය පරිදි එම නොවිසඳුණු කරුණු සැකවින් මෙසේය.
01. 2018 නොවැම්බර් 30 වෙනිදා වව්නතිව් නගරයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වීම හා එම අපරාධ ස්ථානයෙන් යතුරු පැදි කරුවන් පළඳින ජැකට් දෙකක් හමුවීම.ඒ පිළිබඳ බුද්ධි අංශ මඟින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට දැනුම් දීමක් සිදු කර ඇති අතර එම ජැකට්ටුව එම ස්ථානයට දැම්මෙ කවුද යන්න මේ වන විටත් නොවිසඳුණු අබිරහසකි.හිටපු පොලිස් නිලධාරියකු වන අජිත් ධර්මපාල මහතා ප්‍රකාශ කර ඇති පරිදි එම ජැකට් සහිත බෑගය එම ස්ථානයට දමනු ලැබුවේ යුධ හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසිනි.
02. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සඳහන් කර තිබෙන විදියට සහරාන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පැවැත්වූ බවට විදේශීය බුද්ධි අංශයක් මඟින් අනාවරණය කළ විද්‍යුත් ලිපිනය (IP Adress).එය භාවිත කරනු ලැබුවේ පිල්ලෙයාන් සමඟ මඩකලපුව බන්ධනාගරයේ රඳවා සිටි කලීල් නමැති පුද්ගලයාගේ පුත්‍රයා විසිනි.ඔහු සේවය කර ඇත්තේ එවකට හමුදා බුද්ධිඅධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු මහතාගේ සමීපතම බුද්ධි නිලධාරියකු වශයෙනි.ඔහු සහ සහරාන් අතර පැවති සමීප ගණුදෙනුව කුමක්ද?
03. වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය LTTE සංවිධානය මඟින් සිදු කරන ලද්දක් බවට යුධ හමුදා යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත අසත්‍ය තොරතුරු වාර්තා ඉදිරිපත් කරමින් මේ විමර්ශනය නොමඟ යැවීමට උත්සහ කළේ ඇයි?එම අසත්‍ය බුද්ධි වාර්තා ඉදිරිපත් කරනු ලැබුවේ යුධ හමුදා බුද්ධි අංශයේ කර්නල් කැලුම් මද්දුමගේ විසිනි.
04. දෙහිවල ආපනශාලාවකදී පුපුරුවාගෙන මියගිය ජමිල් නැමැත්තා ටාජ් සමුද්‍ර හෝටලයේ දී මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගැනීමට සූදානම් වෙද්දී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණේ කාගෙන්ද?ටාජ් සමුද්‍ර හෝටලයේ දී පුපුරුවා නොගෙන එයින් පිටව යාමට එම දුරකතන පණිවිඩයෙන් උපදෙස් ලැබුණාද?
05. ජමිල් නැමැත්තා එම ස්ථානයෙන් පිටව ගිය පසු ඔහුගේ නිවසට යන යුධ හමුදා බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් ජමිල් පිළිබඳ තොරතුරු විමසා තිබීම.එම නිලධාරීන් යවනු ලැබුවේ කාගෙ උවමනාවට ද?ජමිල් පිළිබඳ යුධහමුදා බුද්ධි අංශ ක්ෂණිකව දැනගත්තේ කොහොමද?
06. මෑතකදී විකාශය වූ චැනල් 4 නාළිකාවට පිල්ලෙයාන් කණ්ඩායමේ අසාද් මවුලානා නැමැත්‍තකු ප්‍රකාශ කර ඇති පරිදි බෝම්බ පිපිරීම සිදුවුනු දවසේ උදේ කාලයේ හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් මවුලානට දුරකතන ඇමතුමක් ලබා දීම. ඔහු විසින් පවසන පරිදි එම දුරකථන ඇමතුමෙන් ලැබුණු පණිවිඩය වන්නේ ටාජ් සමුද්‍රා හෝටලයෙන් වහාම ජමිල් රැගෙන එන ලෙසයි.
07. මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සහ සහරාන් අතර 2018.02.01 හෝ ඊට ආසන්න දිනකදී පුත්තලම වනාතවිල්ලුවේ දී සිදු වූ බවකියන හමුව.චැනල් 4 නාළිකාවෙන් මවුලානා සිදු කළ එම ප්‍රකාශය ඉතාම බරපතල එකකි.
08. සහරාන්ගේ බිරිඳ වන හාදියා විසින් අනාවරණය කර ඇති පරිදි සහරාන්ට ඉහළින් සිටි අබු හින්ද් නැමැත්තා පිළිබඳ පරීක්ෂණ සිදු කර තිබෙනවද?ඒ අන්වර්ථ නාමයෙන් පෙනී සිටි පුද්ගලයා කවුද යන්නමේ වන විටත් සොයා ගැනීමට නොහැකි වී තිබේ.