ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජයෙන් ගෙන ඇති පියවර විවේචනය කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය මෙසේය.
මාධ්‍ය නිවේදනය
රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම
රජයට අයත් ඇතැම් වත්කම් සහ ව්‍යාපාර විකුණා දැමීමට ආණ්ඩුව ගණිමින් සිටින පියවර හේතුවෙන් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ හා පොදු මහජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇත. වත්මන් ආණ්ඩුවේ මෙම පියවරට පාදක වී ඇත්තේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා වන වියදම් අවම කිරීමට සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සපුරාලීමට බව පෙනෙන්නට තිබේ. මම 2005 නොවැම්බරයේ සිට 2015 ජනවාරි දක්වා සම්පූර්ණ වසර නවයකට වැඩි කාලයක් රට පාලනය කළ සමයේ රජය සතු කිසිදු දේපලක් හෝ ව්‍යාපාරයක් විකුණුවේ නැත. ඒ වෙනුවට සිදුවූයේ කලින් ආණ්ඩු විසින් විකුණා තිබූ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා හොස්පිට්ල්ස් වැනි ආයතන කිහිපයක් මගේ රජය විසින් නැවත රජයට පවරා ගැනිමය. එම ආයතන අදටත් ලාභ ලබමින් රජයේ අයිතිය යටතේ පවතී.
රාජ්‍ය දේපල හා ව්‍යාපාර සම්බන්ධයෙන් මගේ රජයට තිබුනේ ප්‍රයෝගිකවාදී ප්‍රවේශයකි. යම් රාජ්‍ය ආයතනයක් ලාභ ලබනවා නම් සහ එමගින් මහජනතාවට හොඳ සේවාවක් ලබා දෙනවා නම් එය පෞද්ගලීකරණය කිරීමට කිසිදු හේතුවක් අපි නොදුටුවෙමු. ඇතැම් අවස්ථාවලදී, සමස්ත ආර්ථිකයේ උන්නතිය සඳහා නැතිනම් අඩු ආදායම්ලාභී කණ්ඩායම්වලට උපකාර කිරීම සඳහා රජය සතු ආයතන විසින් නිෂ්පාදනය කරන ඇතැම් භාණ්ඩ හා සේවා වල මිල පාලනය කිරිමට රජය උපායමාර්ගික තීරණ ගනු ලබයි. බලශක්ති ක්ෂේත්‍රය මෙයට හොද උදාහරණයකි. යම් නිශ්චිත ආර්ථික ක්‍රියාකාරකම් සඳහා උපාය මාර්ගික සහනාධාර නොදෙන රජයක් ලෝකයේ නැත.
මා ජනාධිපති ධූරයේ සිටි සමයේ, එවන් මිල පාලනයක් නිසා ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලැබූවද, අපේ ආර්ථික කළමනාකරණය තුලින් වසර නවයක අඛණ්ඩ ආර්ථික වර්ධනයක් රටේ ඇති විය. ඒ කාලයේ අපේ ණය ගෙවීමට හෝ අපි පවත්වාගෙන ගිය සහනාධාර වල වියදම් පියවීමට අපට කිසිදු අසීරුතාවයක් නොතිබුණු අතර, මා ජනාධිපතිව සිටියදී කිසිවකු රජයේ දේපළ හා ව්‍යාපාර පුද්ගලීකරණය කිරීමක් ගැන කතා කළේවත් නැත. ඇතැම් සේවාවන් පෞද්ගලීකරණය කිරීමෙන් රටට දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති විය හැකි බැවින්, විශේෂයෙන්ම විදේශීය පාර්ශව හවුල් වන අවස්ථා වලදී මේ සම්බන්ධයෙන් කටයුතු කල යුත්තේ ඉතා ප්‍රවේසමෙනි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළියේදී යෝජනා වූ පරිදි , රජයට අයත් ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කිරීම සිදුවිය යුත්තේ, උපරිම පාරිදෘශ්‍ය භාවයකින් යුක්තව, ජාතික සැලැස්මකට අනුව, ජාතික ආරක්ෂාවට බාධාවක් නොවන පරිදි, සේවක පක්ෂයේ අදහස් ද සැලකිල්ලට ගනිමින් ය.

