නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර ආණ්ඩුව එහි ප්‍රධාන උපදේශක ලෙස මෙහෙයවීම සඳහා ඊයේ (අගෝස්තු 8) දිවුරුම් දීම සිදු කළා.
ඒ ශිෂ්‍ය නායකත්වයෙන් යුත් කැරැල්ලකින් ෂෙයික් හසීනාගේ 15 වසරක පාලනය අවසන් කිරීමෙන් පසු බංගලාදේශය භාර ගනිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින බවටත් ආරක්ෂා කරන බවටත් ප්‍රකාශ කරමිනි.
අන්තර්වාර ආණ්ඩුවේ අනෙකුත් සාමාජිකයන් 16 දෙනාගෙන් 13 දෙනෙක් ද මෙහි දී දිවුරුම් දෙනු ලැබුවා.
“අද අපට තේජාන්විත දවසක්,” 84-හැවිරිදි ඔහු යුරෝපයේ සිට ඩකා වෙත ආපසු පැමිණීමට පැය කිහිපයකට පෙර වාර්තාකරුවන්ට සඳහන් කළා.
ෂෙයික් හසීනාගේ දේශපාලන පළිගැනීම් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වූ යුනුස් දිවුරුම් දීම සඳහා බංගලාදේශයට පැමිණියේ දැඩි ජනතා ඉල්ලීම් මැදයි.
“බංග්ලාදේශය නව ජයග්‍රාහී දිනයක් නිර්මාණය කර තිබෙනවා. බංග්ලාදේශයට දෙවන නිදහස ලැබුණා” යැයි ඔහු උද්‍යෝගයෙන් හා ප්‍රීතිමත් මුහුණෙන් ප්‍රකාශ කරනු දක්නට ලැබුණා.
අවම වශයෙන් පුද්ගලයන් 455 දෙනෙකු මිය ගිය සති කිහිපයක ප්‍රචණ්ඩ ක්‍රියාවලින් පසු නීතිය හා සාමය ප්‍රතිෂ්ඨාපනය කිරීමට ඉඩ දෙන ලෙස යුනුස් ජනතාවගෙන් ඉල්ලා සිටියා.
“නීතිය හා සාමය අපගේ පළමු කාර්යයයි… අපි නීතිය හා සාමය යථා තත්ත්වයට පත් නොකළහොත් අපට පියවරක් ඉදිරියට තැබිය නොහැකියි”
“ජනතාවට මගේ පළමු ඇමතුම වන්නේ, ඔබට මා කෙරෙහි විශ්වාසයක් තිබේ නම්, රටේ කොතැනක හෝ කිසිවකුට එරෙහිව ප්‍රහාර එල්ල නොවන බවට වග බලා ගන්න.” යැයි 84 හැවිරිදි නායකයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
“සෑම පුද්ගලයෙක්ම අපගේ සහෝදරයෝය… අපගේ කර්තව්‍යය වන්නේ ඔවුන් ආරක්‍ෂා කිරීමයි” ඔහු සඳහන් කළා.
බංගලාදේශ ජනතාව ඉල්ලූ කවුද මේ යූනුස්?
මුහම්මද් යුනුස් 1970 දශකයේදී ක්ෂුද්‍ර මූල්‍යකරණයේ පුරෝගාමියෙකු ලෙස සිය නම දිනා ගත් අතර, බංගලාදේශයේ දිලිඳුම ජනතාව අතුරින් සමහරක් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට පුරෝගාමීව කටයුතු කළා.
එය චිතගොං විශ්ව විද්‍යාලයට ආසන්නව පිහිටි දිළිඳු ගම්මානයක ඔහු කළ සංචාරයෙන් ආභාෂය ලැබූ ව්‍යවසායයකි.
ගම්වැසියන් පිරිසකට කුඩා ණය මුදලක් – වරකට සුළු මුදල් ප්‍රමාණයක් ණයට දෙමින්, සාම්ප්‍රදායික බැංකු උදව් කිරීමට අකමැති කුඩා පරිමාණ ව්‍යවසායකයින්ට මූල්‍ය ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම ඔහුගේ විශිෂ්ඨතම කර්තව්‍යයයි.
මෙම ව්‍යවසාය සාර්ථක වූ අතර ඉක්මනින් වර්ධනය වුණා. 1980 ගණන්වල මුල් භාගය වන විට එහි සාමාජිකයින් දස දහස් ගණනක් සිටි අතර එය ග්‍රාමීන් බැංකුව හෙවත් “ගමේ බැංකුව” බවට පත්ව තිබුණා.
බැංකුව බංගලාදේශය පුරා පුළුල් පරාසයක ව්‍යාපෘති ක්‍රියාත්මක කළ අතර – ලාභ ලබන සහ ලාභ නොලබන ව්‍යාපාර වශයෙන් – රෙදිපිළි සිට ජංගම දුරකථන සහ බ්‍රෝඩ්බෑන්ඩ් දක්වා පුළුල් කරනු ලැබුවා.
2006 දී සිය මූල්‍ය කටයුතු වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගය දිනූ මහාචාර්ය යුනුස්ට සාර්ථකත්වය මෙන්ම ජාත්‍යන්තර පිළිගැනීමක් ද නිර්මාණය වුණේ ඉන් පසුවයි. ඔහුගේ මුල්‍ය කටයුතු මේ වන විට සංවර්ධනය වෙමින් පවතින ලෝකය පුරා සමාන ව්‍යාපෘතිවලට ආදර්ශයක්.
සාම ත්‍යාගය ලැබී මාස කිහිපයක් ඇතුළත ඔහු දේශපාලනයට වැඩි වැඩියෙන් සම්බන්ධ වුණා. “මම දේශපාලනයට හුරු පුරුදු කෙනෙක් නෙවෙයි.නමුත් බලකිරීමක් ලදහොත් දේශපාලනයට සම්බන්ධ වීමට මම පසුබට වෙන්නෙ නැහැ.” යනුවෙනුයි ඔහු එම වකවානුවේ ප්‍රකාශ කළේ.
එහෙත් දේශපාලන අස්ථාවරත්වයෙන් පිරි රටක, ආණ්ඩුවේ විවේචකයකු ලෙස හඬ නඟන භූමිකාවක නිරත වීම නිසා ඔහුට ඉක්මණින් සතුරන් ඇති වුණා.
2007 දී, ඔහු නගෝරික් ශක්ති (පුරවැසි බලය) නම් දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළේ දශක ගණනාවක් තිස්සේ හසීනා සහ ඇගේ ප්‍රතිවාදී ඛලීඩා ෂීයා විසින් ආධිපත්‍යය දැරූ දේශපාලන පද්ධතියක තුන්වන පාර්ශවයක් වීමේ උත්සාහයක් ලෙස යි.