පසුගිය දා බරපතල අපයෝජනයකට ලක් වුණු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය එම සිදුවීමේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවට පැමිණ සිටියේ නැහැ.
වෛද්‍යවරියට එම අවස්ථාවේ මෙම සිදුවීම අනාවරණය කිරීම ගැනම සමහර විට දැන් ඇත්තේ පශ්චාත්තාපයකි.
සාමාන්‍යයෙන් ස්ත්‍රී දූෂණයකින් පස්සෙ ගැහැණියකට තරුණියකට දැරියකට මුහුණ දෙන්න වෙන ජීවිතය රේප් වුණු මොහොතට වඩා බොහෝ බියකරු එකකි.
වෛද්‍යවරියට එම සත්‍ය තේරුම් යන්න ඇත්තේ ඇය මෙම තත්ත්වය හෙළි කළාට පස්සේ සමාජය දක්වපු ප්‍රතිපෝෂණය එක්කයි.
ඇයගේ මුහුණ හෝ අනන්‍යතාවය අනාවරණය නොකිරීමට තරම් මාධ්‍ය කාරුණික වුවත් සමාජ මාධ්‍ය ඇය යළි යළිත් දූෂණයට ලක් කළේ පිළිකුල් සහගත ආකාරයටයි. අනන්‍යතාවය හෙළි නොවූ නිසා නොදන්නා සමාජයෙන් ගැලවුණත් ඇයට ඇය දන්නා සමාජයෙන් ගැලවීම ලෙහෙසි දෙයක් වෙන්නේ නැහැ. ඔබේ සමාජ මාධ්‍ය විවරණ සමඟ ඇය සෑම දිනකම ඇය දන්නා සමිප හා එසේ නොවන සමාජය සමඟ ගණුදෙනු කළ යුතුයි. ඇයට එම බැරෑරුම් තත්ත්වය දැන් වැටහෙමින් තිබෙනවා විය හැකිය. ඒ නිසා ඇය හිතාමතා අධිකරණ ක්‍රියාවලිය මඟ හැරීමට සිතුවා විය හැකිය.
මනුෂ්‍ය දුවක් දූෂණයකට ලක් වෙනවා කියන්නෙම ඇයට සාමාන්‍ය බුද්ධියෙන් හෝ දැනුමෙන් සාමාන්‍ය පරිදි ක්‍රියා කළ හැකි අවස්ථාවක් නෙවෙයි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමට යාමට පෙර ඇය ස්නානය කරා නම් එය ඇගේ සාමාන්‍ය බුද්ධියෙන් කළ දෙයක් නොව අවිඥානිකව ඇය එම අවස්ථාවේ ඇති වූ පිළිකුල හා ජුගුප්සාව සමනය කර ගත් ආකාරය විය හැකියි. කිසිදු මනුස්ස හිතක් නොමැති මිනිසුන් එම දරුණු පීඩනය සමච්චලයට ලක් කළේ තමා ද ගැහැණියක් බව අමතක කරමිනි. නැත්නම් තමාටද මවක් බිරිඳක් සොහොයුරියක් පෙම්වතියක් සිටින බව මතක නැති වීමෙනි.
කිසියම් හේතුවකට ඇගේ ජීවිතය ගැලවීම නිසා ඇයට මැරී මැරී ජීවත්වීමට සලස්සන මත, විවේචන කමෙන්ට්ස් වී වෝල් මත පත බෑවුණේ ඇය තවමත් ජීවතුන් අතර සිටින බව හෝ කිසියම් අවස්ථාවක ඒවා ඇගේ ඇස්වලින්ම දැකගැනීමට සිදු වුවහොත් ඇගේ තත්ත්වය පිළිබඳ අබමල් රේණුවක් තරම් නොසිතාය. කිසිදු වගවිභාගයකින් තොරව සමාජ මාධ්‍ය විනිශ්චයකාරවරුන් විසින් ඇයව අපරාධකරු සමඟම පෝරකයට යැවිය යුතු බව උපකල්පනය කර තිබුණි. එම පෝරකය නම් ජීවිත කාලය පුරාම මැරී මැරී හිටපන් යන අර්ථයෙනි.
ඉතින් ඇය අධිකරණ ක්‍රියාවලිය මඟ හැරීම පුදුමයක් නොවේ. අධිකරණ ක්‍රියාවලිය මඟ හැරීම යනු අපරාධයට යුක්තිය ඉටු කර ගැනීමට නොහැකි වීමයි. කණගාටුව වන්නේ මෙය ඇයට පමණක් සිදුවූ දෙයක් හෝ අවසාන තැනැත්තිය ඇය නොවීමයි.