(Lakvahini) – ඕස්ට්‍රේලියාව තුළ පවතින සරණාගත සහ ශිෂ්‍ය වීසා ක්‍රමවේදයන් ඇතැම් විදේශීය සිසුන් විසින් අවභාවිත කරනු ලබන බව පවසමින්, වන් නේෂන් (One Nation) පක්ෂයේ නායිකා සෙනෙට් සභික පෝලින් හැන්සන් (Pauline Hanson) විසින් විදෙස් සිසුන් සඳහා වන නව සංක්‍රමණ ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
මෑතකදී පවත්වන ලද ජනමත සමීක්ෂණවලින් (Newspoll) එරට ප්‍රධාන දේශපාලන පක්ෂ අභිබවා පෙරමුණට පැමිණීමත් සමඟ ඇය මෙම නව යෝජනා ඉදිරිපත් කර ඇත.
ඇය අවධාරණය කරන්නේ අධ්‍යාපනය ලැබීමේ සැබෑ අභිලාෂයකින් තොරව, ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිමින් ඉහළ වැටුප් උපයා ගැනීම සඳහා ඇතැම් පිරිස් මෙම නීතිමය සිදුරුවලින් ප්‍රයෝජන ගන්නා බවයි. මෙම තත්ත්වය හේතුවෙන් එරට නිවාස වෙළෙඳපොළට සහ පොදු සේවාවන්ට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ද හැන්සන් මහත්මිය පෙන්වා දෙයි.
ප්‍රධාන ප්‍රතිපත්තිමය යෝජනා..
වන් නේෂන් පක්ෂයේ නව සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන සංශෝධන මෙසේය:
නැවත මව් රටට යාම අනිවාර්ය කිරීම: ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුවෙකුට වෙනත් අතිරේක පාඨමාලාවක් සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නම්, ඔවුන් ප්‍රථමයෙන් තමන්ගේ මව් රට බලා යා යුතු අතර, එතැන් සිට නව වීසා බලපත්‍රය සඳහා අයදුම් කළ යුතු වේ.
අතරමැදි (Bridging) වීසා සීමා කිරීම: පාඨමාලාවලින් ඉවත් වන (Drop out) සිසුන්ට ඕස්ට්‍රේලියාව තුළ රැඳී සිටීමට හෝ රැකියාවල නිරත වීමට අතරමැදි වීසා නිකුත් නොකෙරේ.
අභියාචනා අයිතිය අහෝසි කිරීම: වීසා කොන්දේසි කඩකරන හෝ පාඨමාලා අතරමග නතර කරන සිසුන්ට ඕස්ට්‍රේලියානු සමාලෝචන විනිශ්චය සභාව (ART) වෙත අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි කෙරේ.
‘පාඨමාලා මාරු කිරීමේ ජාවාරම’ (Course-Hopping)..
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සෙනෙට් සභික හැන්සන් කියා සිටියේ, විදේශීය සිසුන් ඕස්ට්‍රේලියාවට පැමිණ කෙටි කලකින් පාඨමාලාවලින් ඉවත් වී වෙනත් ව්‍යාජ හෝ ප්‍රමිතියෙන් තොර ආයතන වෙත මාරු වන ‘කෝස් හොපිං’ (Course-hopping) නැමැති උපක්‍රමය බහුලව භාවිත කරන බවයි.
“මෙවැනි අතරමැදි වීසා බලපත්‍ර මගින් නව වීසා අයදුම්පතක් සලකා බලන තෙක් දින 200ක පමණ කාලයක් රැඳී සිටීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. එය ප්‍රතික්ෂේප වුවහොත් ඔවුන් නැවත අභියාචනා ඉදිරිපත් කරනවා. එම අභියාචනා ක්‍රියාවලිය සඳහා තවත් සති 64ක් පමණ ගත වන අතර, ඒ මුළු කාලය පුරාම ඔවුන්ට ඕස්ට්‍රේලියාවේ රැකියා කිරීමට සහ නිවාස පරිහරණයට අවස්ථාව ලැබෙනවා,” යැයි හැන්සන් මහත්මිය පැවසුවාය.
ඇය වැඩිදුරටත් අනාවරණය කළේ කිසිදු පදනමකින් තොරව ව්‍යාජ ලෙස සරණාගතභාවය (Asylum) ඉල්ලුම් කිරීමේ ප්‍රවණතාවක් ද පවතින බවයි. එවැනි අයදුම්පතක් සලකා බැලීමට වසර තුනක පමණ කාලයක් ගත වන බැවින්, එම කාලයද ඕස්ට්‍රේලියාව තුළ මුදල් ඉපයීමට ඔවුන් උපක්‍රමශීලීව භාවිත කරන බව ඇය සඳහන් කළාය.
දත්ත වාර්තාවලට අනුව, පසුගිය වසර තුන ඇතුළත පමණක් අතරමැදි වීසා මත රැඳී සිටින විදේශීය සිසුන් සංඛ්‍යාව 13,000 සිට 107,000 දක්වා අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇත.
විශ්වවිද්‍යාල වෙත එල්ල වන චෝදනා..
ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල විදේශීය සිසුන්ගෙන් ලැබෙන පහසු මුදල්වලට ‘ඇබ්බැහි වී’ ඇති බවත්, මෙම වීසා ක්‍රමවේදය අවභාවිත වීමට ඔවුන්ද වක්‍රව වගකිව යුතු බවත් හැන්සන් මහත්මිය චෝදනා කළාය.
උදාහරණයක් ලෙස සෙන්ට්‍රල් ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලය (Central Queensland University) පෙන්වා දුන් ඇය, 2023 වසරේදී එහි විදෙස් සිසුන්ගේ පළමු වසරේ පාඨමාලා හැරයාමේ ප්‍රතිශතය 57.2%ක් ලෙස වාර්තා වී තිබියදීත්, ඔවුන් සිඩ්නි නුවර ශාඛා පවත්වාගෙන යන්නේ අධ්‍යාපනික අරමුණකට වඩා මූල්‍යමය ලාභය තකා බව ප්‍රකාශ කළාය.
පසුබිම සහ ආර්ථික බලපෑම..
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය සහ විශ්වවිද්‍යාල බලධාරීන් මීට පෙර පෙන්වා දී ඇත්තේ ජාත්‍යන්තර අධ්‍යාපන ක්ෂේත්‍රය යනු ඕස්ට්‍රේලියාවේ විශාලතම අපනයන කර්මාන්තයක් වන අතර, එය රටේ රැකියා උත්පාදනයට, පර්යේෂණ අරමුදල්වලට සහ සමස්ත ආර්ථික ක්‍රියාවලියට සෘජුවම දායක වන ප්‍රධානතම ආදායම් මාර්ගයක් බවයි.
මෙම යෝජනාව One Nation පක්ෂයේ පුළුල් සංක්‍රමණ සහ ජනගහන ප්‍රතිපත්ති වැඩපිළිවෙළේ කොටසක් වන අතර, තාවකාලික සංක්‍රමණ අඩු කිරීම සහ ජාත්‍යන්තර සිසුන්ගේ සංඛ්‍යාව සීමා කිරීම එහි ප්‍රධාන අරමුණු අතර වේ.
