ලංකාවේ මෙච්චර කාලෙකට දැකපු නැති ලොකුම පැජන්ට් එක! Miss Universe Sri Lanka 2026 අද

(Lakvahini) – ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නව පිටුවක් පෙරළමින්, 2026 වසරේ ‘මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා’ (Miss Universe Sri Lanka) සහ ‘මිස් යුනිවර්ස් මාලදිවයින’ (Miss Universe Maldives) තේරීමේ අවසන් මහා තරඟය අද (ජූනි 23) පස්වරු 6:00 ට කොළඹ සිනමන් ලේක්සයිඩ් (Cinnamon Lakeside) හෝටල් පරිශ්‍රයේ පිහිටි ඉම්පීරියල් මාර්කි හීදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

මෙරට පැජන්ට් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකීය තරඟකාරියන් මෙන්ම මාලදිවයින් තරඟකාරියන් ද එකම වේදිකාවකදී කිරුළ සඳහා තරඟ වැදීම මෙවර විශේෂත්වයකි.

පළාත් මට්ටමින් තරඟකරුවන් තේරූ ලංකාවේ පළමු ජාතික පැජන්ට්‍රිය..
මෙම තරඟාවලිය මෙහෙයවනු ලබන්නේ ජාත්‍යන්තර කිරුළු 14ක් මෙරටට දිනා දීමට නායකත්වය දුන් ප්‍රමුඛ පෙළේ ජාතික සංවිධායක සහ අධ්‍යක්ෂ නිර්මාල් බණ්ඩාර මහතා විසිනි. මෙවර තරඟාවලියේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ සහ දකුණු පළාතට පමණක් සීමා නොවී රීජනල් ඩිරෙක්ටර්ස්ලා (Regional Directors) හරහා ඌව, උතුර සහ නැඟෙනහිර ඇතුළු දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි මූලික වටයන් පවත්වා ඇත.

ජනවාරි සහ පෙබරවාරි මාසවල ආරම්භ වූ අයදුම්පත් කැඳවීම්වලින් අනතුරුව, මාස කිහිපයක් පුරා පැවැති දැඩි පුහුණු කිරීම් සහ පෙරනිමි තරඟ (Preliminaries) වලින් පසු අවසන් මහා තරඟය සඳහා දක්ෂතම තරඟකාරියන් 26 දෙනෙකු තේරී පත්ව සිටිති. මෙවර තරඟාවලියේ ජයග්‍රාහිකාව සඳහා රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) දැවැන්ත මූල්‍ය ත්‍යාගයක් පිරිනමන අතර, ජාත්‍යන්තර වේදිකාව නියෝජනය කිරීම සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් අනුග්‍රාහකයන් හරහා සැපයීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන ඇත.

මෙවර ශ්‍රී ලංකා කිරුළ සඳහා භාවිත වන නිල රන් කිරුළ (Crown) රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුක්ත වන අතර, එය ‘පීපල්ස් ගෝල්ඩ්’ (People’s Gold) ආයතනය විසින් සපයා ඇත. තරඟාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු ලෙස ‘amanté’ සන්නාමය කටයුතු කරයි.

විදේශීය විනිසුරුවන් සහ අඩි 100ක දැවැන්ත වේදිකාව..
තරඟාවලියේ තාක්ෂණික සහ නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් මෙතෙක් ලංකාවේ රූපලාවන්‍ය තරඟයක නිර්මාණය නොවූ අඩි 100ක් දිගැති දැවැන්ත රන්වේ ස්ටේජ් එකක් (Runway Wall/Stage) නිර්මාණය කර තිබේ.

විනිශ්චය කටයුතු සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම සඳහා මෙවර විදේශීය විනිසුරුවන් බහුතරයකගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් කැඳවා ඇත. ඒ අතරට:

මිස් යුනිවර්ස් පාකිස්ථාන් (Miss Universe Pakistan)
කැනඩාව නියෝජනය කළ ෆිට්නස් සුපර්මෝඩල් වර්ල්ඩ් විනර් (Fitness Supermodel World Winner – Canada)
රොසි සේනානායක මහත්මිය (මෙරට ප්‍රමුඛ පෙළේ ප්‍රවීණ රූපලාවන්‍ය සහ දේශපාලන චරිතයක්) ඇතුළු ජාත්‍යන්තර විනිසුරුවන් පිරිසක් එක්වීමට නියමිතය.

තරඟාවලියේ පුහුණුකරු සහ 2025 මාලදිවයිනේ පැවැති මිස්ටර් ෆිට්නස් සුපර්මෝඩල් වර්ල්ඩ් ඉන්ටර්නැෂනල් (Mister Fitness Supermodel World International) ලෝක ශූර විශ්මිත දිව්‍යාංජන මහතා ප්‍රකාශ කළේ, මුදල් මත පදනම්ව ජාත්‍යන්තරයට තරඟකරුවන් යවන සංස්කෘතිය වෙනස් කරමින්, බුද්ධිය, පෞරුෂය, සන්නිවේදන හැකියාව සහ රූපලාවන්‍ය යන සියල්ල සලකා බලා මෙරටට වඩාත්ම සුදුසු නිරූපිකාව පමණක් ජාත්‍යන්තර වේදිකාවට තෝරා ගන්නා බවයි.

හෙට (ජූනි 24) පැවැත්වෙන ‘මිස්ටර් ශ්‍රී ලංකා’ තරඟාවලිය..
මිස් යුනිවර්ස් තරඟයට සමගාමීව, හෙට (ජූනි 24) දින එම වේදිකාවේදීම ‘මිස්ටර් ශ්‍රී ලංකා 2026’ (Mister Sri Lanka) අවසන් මහා තරඟය පැවැත්වීමට නියමිතය. එහිදී ජාත්‍යන්තර තරඟාවලි 5ක් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලාංකීය තරුණයන් පස්දෙනෙකුට අවස්ථාව හිමිවේ.

2025 ක්ලැසි මෝඩල් වර්ල්ඩ් (Classy Model World) ජාත්‍යන්තර ජයග්‍රාහක සහ 2024 මිස්ටර් ශ්‍රී ලංකා ෆස්ට් රනර්-අප් දුලාජ් මධුරංග මහතා පෙන්වා දෙන්නේ, ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම පැජන්ට්‍රි ක්ෂේත්‍රය හරහා ද ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරව ඉහළින්ම ඔසවා තැබීමට වර්තමාන නිරූපණ ශිල්පීන්ට හැකිවී ඇති බවයි.

එමෙන්ම, මෙවර මිස්ටර් ෆිට්නස් මෝඩල් 2026 (Mister Fitness Model 2026) තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සූදානමින් සිටින, 2025 මිස්ටර් ශ්‍රී ලංකා ග්‍රෑන්ඩ් විනර් රශ්මිත වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේ, තමන්ට ලැබෙන මෙම ජාත්‍යන්තර වේදිකාව සහ කිරුළ උපයෝගී කරගනිමින් තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමේ සමාජ සත්කාරක වැඩපිළිවෙළක් දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බවයි.

ලංකාවේ පැජන්ට් ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන මෙම සුවිශේෂී නිෂ්පාදනයේ වෙනස අත්විඳීම සඳහා අද සහ හෙට සිනමන් ලේක්සයිඩ් පරිශ්‍රයට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ලෝලීන්ට විවෘත ආරාධනයක් කර සිටියි.

Latest News

error: Content is protected !!