රටවල් 20ක්… එකම ශ්‍රී ලාංකික අනන්‍යතාවයක්! Global Sri Lankan කුමරා කුමරිය 2026 ශ්‍රී ලංකාවේදී ඇරඹෙයි

(Lakvahini) – විදේශගතව වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ වෘත්තීය නිරූපණ සහ කලාත්මක කුසලතාවන් ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින් සංවිධානය කෙරෙන “ග්ලෝබල් ශ්‍රී ලංකන් කුමරා කුමරිය 2026” (Global Sri Lankan Pageant 2026) තරඟාවලියේ අවසන් මහා වටය එළඹෙන ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සංවිධායක මණ්ඩලය නිවේදනය කරයි.

ලෝකයේ රටවල් 20 ක නියෝජනයක් සහිතව, දේශීය අනන්‍යතාවය සහ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය මුල් කරගනිමින් පැවැත්වෙන මෙම දැවැන්ත ජාත්‍යන්තර තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ දෙවන වරටයි.

තරඟාවලියේ දේශීය කටයුතු සම්බන්ධීකරණය කරන ඉවන්ට් ප්‍රොඩියුසර් (Event Producer) ඉසුරු ගුණසේකර ප්‍රකාශ කළේ, විවිධ විදේශීය සංස්කෘතීන් තුළ හැදී වැඩුණු ඩයස්පෝරා ශ්‍රී ලාංකික තරුණ පරපුර සිය මාතෘභූමියේ සංස්කෘතික මුල් අගයයන් සමඟ සම්බන්ධ කිරීම මෙහි ප්‍රධාන අරමුණක් බවයි.

“මෙය සාමාන්‍ය රූපලාවන්‍ය තරඟාවලියකට වඩා එහා ගිය, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ පුනරුදයට සෘජු දායකත්වයක් සපයන සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙහෙයවනු ලබන ව්‍යාපෘතියක්,” යැයි ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජූලි 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත අවසන් වටයේ තරඟකරුවන් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙනුවෙන් ජූලි 31 දක්වා කොළඹ, නුවර, ගාල්ල සහ මීගමුව යන සංචාරක කලාප කේන්ද්‍ර කරගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මෙහිදී මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වැඳපුදා ගැනීම සහ විශේෂ මනාලියන්ගේ නිරූපණ දැක්මක් (Bridal Show) පැවැත්වීමටද සැලසුම් කර තිබේ.

තරඟාවලියේ නිල නර්තන වින්‍යාස ශිල්පී (Official Choreographer) ගයාන් ශ‍්‍රීමාල් මහතා පෙන්වා දුන්නේ, බාහිර රූපකාය මත පමණක් පදනම් නොවී තරඟකරුවන්ගේ පෞරුෂය, විනය සහ වෘත්තීය මට්ටම ඉහළ නැංවීම සඳහා විශේෂ පුහුණු වැඩමුළු (Workshops) ක්‍රියාත්මක කරන බවයි.

ප්‍රවීණ කලාකරුවෙකු වන සෙනුර අබේගොඩ මහතාගේද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම වැඩමුළු මඟින් ශාරීරික යෝග්‍යතාව, කැට්වෝක් (Catwalk) ශිල්පීය ක්‍රම මෙන්ම සාමාන්‍ය ජීවිතයට සහ වෘත්තීය ලෝකයට අවශ්‍ය පෞරුෂ වර්ධන උපදෙස් ලබාදීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තර මට්ටමින් මෙහෙයවීම සඳහා විදේශගත ප්‍රවීණයන් රැසක් දායකත්වය සපයයි. එක්සත් රාජධානියේ (UK) සිටින ජාත්‍යන්තර අධ්‍යක්ෂිකා වසන්ති ගුණරත්න, ප්‍රංශයේ (France) සිටින ජාත්‍යන්තර සම්බන්ධීකාරක විශ්ව පෙරේරා, ලංකාවේ සිටින සුභාෂි අපන්ගම සහ ප්‍රවීණ නිරූපණ ශිල්පිනී රොසෑන් ඩයස් ඇතුළු වෘත්තීය මණ්ඩලයක් විසින් සමස්ත තරඟාවලියේ ගුණාත්මකභාවය අධීක්ෂණය කරනු ලබයි.

තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙනුවෙන් රුපියල් මිලියනයක් (One Million) වටිනා තෑගි බෝග සහ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ දොරටු විවර වන වෘත්තීයමය අවස්ථා රැසක් හිමිවන බව සංවිධායකයෝ පවසති.

“ග්ලෝබල් ශ්‍රී ලංකන් කුමරා කුමරිය 2026” තරඟාවලියේ නිල මාධ්‍ය අනුග්‍රහය (Official Media Partner) ටීවී සුප්‍රීම් (TV Supreme) නාලිකා මඟින් සපයනු ලබන අතර, අවසන් මහා රාත්‍රිය ජූලි මස 31 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

20 Countries, One Sri Lankan Identity! Global Sri Lankan Prince & Princess 2026 Comes to Colombo

Latest News

error: Content is protected !!