(Lakvahini) – මෙරට ප්‍රමුඛතම රූපලාවණ්‍ය සන්නාමයක් වන Amanté අනුග්‍රහය දැක්වූ ‘Amanté Miss Universe Sri Lanka 2026’ හි නිල කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකීය සිනමා සහ ටෙලි නාට්‍ය නිළියක මෙන්ම ප්‍රමුඛ පෙළේ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන නිම්හාරා සසින්දි සමත්ව තිබේ.
ජාතික අධ්‍යක්ෂ බුද්ධික නිර්මල් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ පැවැත්වුණු මෙම තරඟාවලියේ ජයග්‍රහණයත් සමඟ, එළඹෙන නොවැම්බර් මාසයේදී පුවර්තෝ රිකෝ හි සැන් ජුවාන් නුවර පැවැත්වෙන 75 වැනි සන්ධිස්ථානීය “විශ්ව රූ රැජින” (Miss Universe 2026) ජාත්‍යන්තර තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ නිල සුදුසුකම ඇයට හිමිවේ.
මුතු සහ නිල්-රිදී පැහැති සියුම් සීක්වින්ස් (Sequins) අලංකරණයෙන් හැඩ වූ රාත්‍රී ගවුම් විලාසිතාවකින් සැරසී අවසන් මහා තරඟ වේදිකාවේදී කැපී පෙනුණු නිම්හාරා, බාහිර සුන්දරත්වය මෙන්ම ඇය සතු ධනාත්මක ආකල්ප, බුද්ධිය සහ මනා පෞරුෂය හේතුවෙන් විනිශ්චය මණ්ඩලයේ සුවිශේෂී ඇගයීමට ලක්විය.
කලා පවුලකින් ආ ආලෝකය සහ වෘත්තීය පසුබිම..
25 වැනි වියෙහි පසුවන නිම්හාරා සසින්දි (සසින්දි නිම්හාරා සේනානායක), මෙරට විලාසිතා සහ නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවීණ යුවළක් වන අර්ජුන සේනානායක (Arjuna Senanayake) සහ නිලූ සේනානායක (Nilu Senanayake) යන මහත්ම මහත්මීන්ගේ දියණියයි. ඇයගේ මව වන නිලූ සේනානායක 2002 වසරේ “Best Model of the World” සහ 2013 වසරේ “Mrs. Asia” කිරුළ දිනාගත් අතර, පියා වන අර්ජුන සේනානායක 2002 වසරේ “Mr. Sri Lanka” ලෙස අභිෂේක ලැබීය.
නිම්හාරා කලාවට පිවිසෙන්නේ දෙමාපිය ආභාෂයද ඇතිව, වයස අවුරුදු හතරහමාරක් තරම් කුඩා අවධියකදීය. ඒ, ‘කාව්‍යා’ ටෙලි නාට්‍යය සහ ‘නිසලගිර’ සිනමාපටය හරහා ළමා රංගන ශිල්පිනියක ලෙසිනි. කෙසේ වුවත්, පසුව සිය අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් ඇය කලාවෙන් තාවකාලිකව සමුගත්තාය.
කොළඹ ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය, මෑතකදී බටහිර ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක් සහිතව කලා උපාධිය (BA) සම්පූර්ණ කිරීමට සමත් වූවාය. ඉදිරියේදී සිය උසස් අධ්‍යාපන කටයුතු ද කරගෙන යන අතරතුර, රංගන සහ නිරූපණ ක්ෂේත්‍රයේ වෘත්තීයමය වශයෙන් දිගටම රැඳී සිටීමට ඇය බලාපොරොත්තු වෙයි.
පාසල් අධ්‍යාපනයෙන් පසු නැවතත් ‘හුස්මක් තරමට’ සහ ‘රේස් 2’ වැනි ජනප්‍රිය ටෙලි නාට්‍ය හරහා පුංචි තිරයට පැමිණි ඇය, ප්‍රවීණ සිනමාකරු චන්න පෙරේරා අධ්‍යක්ෂණය කළ 2023 දී තිරගත වූ ‘සිහින අනන්තේ’ සිනමාපටයේ චන්න පෙරේරා සමඟ ප්‍රධාන නිළිය ලෙසද රංගනයෙන් දායක වී ඇත.
ශ්‍රී ලංකාවේ විශ්ව රූ රැජින ඉතිහාසය සහ පුවර්තෝ රිකෝ සබඳතාව..1952 වසරේ ආරම්භ වූ විශ්ව රූ රැජින තරඟාවලියේ 75 වැනි දියමන්ති ජයන්තිය සනිටුහන් කරමින් මෙවර තරඟාවලිය පුවර්තෝ රිකෝ හි ‘José Miguel Agrelot Coliseum’ හිදී පැවැත්වීමට නියමිතය. පුවර්තෝ රිකෝ රාජ්‍යය මීට පෙර 1972, 2001 සහ 2002 යන වර්ෂවලදී මෙම තරඟාවලිය සාර්ථකව පවත්වා ඇත.
ශ්‍රී ලංකාව (එකල ලංකාව) ප්‍රථම වරට 1955 වසරේදී විශ්ව රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වූ අතර, එහිදී මොරීන් හිංගර්ට් (Maureen Hingert) දෙවැනි අනුශූරතාව (3 වැනි ස්ථානය) දිනාගනිමින් ඓතිහාසික සලකුණක් තැබුවාය. ඉන් වසර 62කට පසු, 2017 වසරේදී ක්‍රිස්ටිනා පීරිස් අවසන් තරඟකාරියන් 16 දෙනා අතරට (Top 16) තේරී පත් වූ අතර, 2018 වසරේදී ඔනෙල්ලා ගුණසේකර ‘Miss Congeniality’ (මිත්‍රශීලීම රූ රැජින) සම්මානය දිනාගත්තාය.
ලංකා ඉතිහාසය තුළ මෙතෙක් කිසිදු තරඟකාරියක් පුවර්තෝ රිකෝ හි පැවැත්වුණු විශ්ව රූ රැජින තරඟාවලියක් නියෝජනය කර නොමැති අතර, නිම්හාරා සසින්දි පුවර්තෝ රිකෝ පස මත ශ්‍රී ලංකා නාමය සනිටුහන් කරන පළමු ලාංකේය නියෝජිතවරිය (48 වැනි ශ්‍රී ලාංකේය විශ්ව රූ රැජින නියෝජිතවරිය) බවට පත්වනු ඇත.
2019 සිට 2023 දක්වා පැවති කෙටි විරාමයකින් පසුව නව මුහුණුවරකින් සංවිධානය වන ‘Miss Universe Sri Lanka’ සංවිධානය පවසන්නේ, ඉදිරි මාස කිහිපය තුළ නිම්හාරා සසින්දිගේ මහජන අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව (Public Speaking), වේදිකා ගමන (Stage Walk) මෙන්ම දේශීය අනන්‍යතාවය විදහා දක්වන ජාතික ඇඳුම් කට්ටලය (National Costume) පරිපූර්ණ කිරීම සඳහා වන විශේෂ සහ දැඩි පුහුණු වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන බවයි.
From Actress to Beauty Queen – Nimhara Sasindi Wins Miss Universe Sri Lanka 2026! ✨
