මැටි හට්ටිය, නව නිපැයුම් සහ ඉන්දියාව…..

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී යන්න අප ලෝකයේ ආපස්සට යන වෙලාවට ඔහේ ගැම්මට කියන නිකන්ම නිකන් කියමනක් විතරක් වෙද්දී නව නිපැයුමක් වෙනුවෙන් උත්සහ කළ ශ්‍රී ලාංකික දියණියක් මෑතකදි සමාජ මාධ්‍යවල හාස්‍යට ලක් වුණේ නිර්දය විදියට. එකවර ව්‍යාංජන දෙකක් පිස ගත හැකි මැටි හට්ටියක් වූ එය නව නිපැයුමක් නොවන බව කියමින් දැරියට හිනා වුණු අය මේක කියවලා බලන්නම ඕන.

මේ ඒ පිළිබඳ තැබූ ෆේස්බුක් සටහනක්

මැටි හට්ටිය, නව නිපැයුම් සහ ඉන්දියාව…..

ශ්‍රී ලංකාවේ නව නිපැයුම් තරඟයකට පාසල් දියණියක ඉදිරිපත් කල ව්‍යංජන දෙකක් එකවර පිසිය හැකි මැටි මුට්ටිය නව නිපැයුමකට තරම් නොවන බවට පෝස්ට් මුහුණු පොත පුරා දුටු පසු නව නිපැයුම් පිලිබඳ මේ වනවිට ලබමින් සිටින අත්දැකීම් කිව යුතුම බැවින් ලියා තබමි.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නගරයේ Cyberabad ප්‍රදේශය High tec city ලෙස හඳුන්වන තාක්ශණික නිර්මාණ හා නව නිපැයුම් සඳහාම නිර්මාණය වූ ආයතන සහිත නගරයකි. එහි ඕනෑම පුද්ගලයෙකුගේ සිතෙහි ඇති සිතුවිල්ලක් නිශ්පාදනයක් ලෙස නිපදවීමට අවශ්‍ය තාක්ශන පහසුකම්, යන්ත්‍ර සූත්‍ර, උපදෙස්, මඟ පෙන්වීම්, අමුද්‍රව්‍ය ඇතුලු එකී මෙකී නොකී සියලු දෑ වලින් සමන්විත ආයතන රාශියක් පිහිටා ඇත.

නැවත කියමි; කිසිදු බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුගේ සිතෙහි ඇතිවන සිතුවිල්ලක් යථාර්ථයක් කල හැකිද යන්න එහිදී අත් හදා බැලිය හැකිය. ඒ සඳහා ආයතනික වශයෙන් පැමිණ පර්‍යේශන සහ අවශ්‍ය සම්බන්ධිකරණ කටයුතු සිදු කිරීමට t-hub නම් සුවිසල් ගොඩනැගිල්ල සියලු පහසුකම් සහිතව ගොඩ නඟා ඇත.

ඉතාම කුඩා දරුවාගේ සිට ඉතාම වියපත් මහල්ලා දක්වා ඕනෑම අයෙකුට ඕනෑම අංශයකින් ඇතිවන නව නිපැයුමක් අත් හදා බලා වැඩි දියුණු කරගැනීමට t-works නම් සියලු පහසුකම් සහිත ආයතනය තාක්ශනික මෙවලම් රැසක් සමඟ ඉදිකර ඇත. අප විසින් නිරීක්ශිත අවස්ථාව වන විටත් විවිධ වයස්වල දරුවන්, තරුණ තරුණියන්, වැඩිහිටියන් එහි අත් හදා බැලීම් කටයුතුවල නිරතව සිටියහ.

පාසල් දියණියක විසින් නිර්මාණය කල පැලය ලොකුවන විට දිරාපත්වන කුඩා මල් පෝච්චියක්, ගෘහනියක විසින් නිර්මාණය කල අතින් කරකවන රෙදි සේදුම් යන්ත්‍රයක්, වියපත් සීයා කෙනෙක් විසින් නිර්මාණය කල ජලයේ පැද යා හැකි බයිසිකලයක් ආදී වශයෙන් ඉතා කුඩා වැඩි දියුනු කිරීම් සඳහා වන අදහසක් පවා ඉන්දියාව තුල අති මහත් ඇගයීමකට ලක් කර එම පුද්ගලයා නව නිපැයුම්කරුවෙකු බවට පත් කිරීමේ දීර්ඝකාලීන සැලැස්මක් ඇත. නව නිපැයුම් සඳහා වන ලොව විශාලතම ආයතනය ඉදිකර ඇත්තේ අසල්වැසි ඉන්දියාවය. එය වර්ශ 2030 දක්වා තව දුරටත් සංවර්ධනය වන සුවිසල් ව්‍යාපෘතියකි. t- works ආයතනය කුඩා දරුවන් සඳහා වන නව නිපැයුම් කඳවුරු නිරන්තරයෙන් පවත්වමින් නව නිපැයුම්කරුවන් රට තුල සුලභ කරගැනීමට දැඩි වෙහෙසක් දරයි.

කඩදාසි මලක් පවා වෙනසක් තිබේ නම් ඔවුන් නව නිපැයුමක ආරම්භය ලෙස දකී. ඔවුන්ගේ තේමාව වන්නේ “come, fail, learn and build” යන්නයි.

ඉතින් ලංකාවේ දියණිය නිර්මාණය කල මැටි හට්ටිය විවේචනය කිරීමට ඔබට ඇති අයිතිය කුමක්දැයි විමසමි. රටෙහි නව නිපැයුම් වෙනුවෙන් ඔබේ වසර දහ අටකට වැඩි ජීවිත කාලයෙන් සිදු කර ඇත්තේ කුමක්දැයි විමසමි. රටෙහි ඉදිරි නව නිපැයුම්කරුවන්ගේ අනාගතය සඳහා ඔබගේ සැලැස්ම කුමක්දැයි විමසමි. ඉතා පුංචි අදහසකින් ටින් විවෘත කිරීමේ උපාංගය සහිතව ටින් නිශ්පාදනය කිරීම සොයාගත් තැනැත්තාගේ අනාගතය වෙනස් වූ ආකාරය හැකිනම් නම් සොයා බලා කියවන ලෙස ඇරයුම් කරමි.

අයකටුව, අල්පෙනෙත්තිය, ඉඳිකටුව පවා නව නිපැයුමක් බව සිහිපත් කරමි. තම සුනඛයාගේ ලෝමවල ඇලවී තිබූ ඇපල ගෙඩි දැක “වෙල්කෝ පටිය” නිර්මාණය කල අය ලෝකයේ ගමන් මඟ වෙනස් කිරීමට සිදුකල දායකත්වය කියවා බලන ලෙස ඉල්ලමි. යෝධ ගසක් වීමේ ලකුණු පෙන්වන පුංචි පැලයක් අද පාගා දමන්නේ නම් ඔබ විසින්ම ඔබේ රටෙහි අනාගතයේ විනාශය උදා කරමින් සිටින බව පමණක් පවසමි. t-works, t-hub වැනි ආයතන බිහි කරන්නට තරම් පුලුල් මනසක් සහිත පාලකයින්, නිලධාරීන් සහ මහ ජනතාවක් මේ කල්පාන්තයෙහි නම් ලංකාවෙහි බිහි වනු ඇතැයි සිහිනෙකින්වත් සිතීම දුශ්කරය. රට හදන්නට පලමුව අප රටට ආදරය කරන්නට අසල්වැසි ඉන්දියාවෙන් ඉගෙන ගත යුතුය.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!