ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජයක් හදන්න ජනතාව සූදානම් වෙනවා – අනුර කුමාර

“මාලිමාවේ ආණ්ඩුවක් යටතේ අපේ රටේ ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දෙනවා” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇමරිකා එක්සත් ජනපදයේ ලොස්ඇන්ජලීස් නුවරදී පවසයි.

“සෑම කෙනාටම ප්‍රජාතන්ත්‍රවාදී අවස්ථාවන් නිර්මාණය කිරීමෙන් පමණයි රටක ආර්ථිකය ඉස්සරහට ගේන්න හැකියාව තිබෙන්නේ” යැයිද හෙතෙම කීය.

පසුගිය සෙනසුරාදා (28) ලොස්ඇන්ජලීස් නුවර පැවැති එහි වෙසෙන ලාංකිකයන් හමුවකදී අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේය.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

“මෙතැන ඉන්න කිසිවකු ඇමරිකාවට ආවේ නැහැ දේශපාලනය කරන්න. බොහෝ අය රැකියාවක් සොයාගෙන, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හෝ ලංකාවට වඩා සුරක්ෂිත රටක් හොයාගෙන ඇවිත් තියෙන්නේ. ඔබ ලංකාවෙන් බොහෝ දුරස් වූ රටක යම් සුරක්ෂිත ජීවිතයක් ගත කරද්දී ලංකාව පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න, ලංකාවේ සිදුවීම් පිළිබඳ කම්පනයක් තිබෙන කණ්ඩායමක් ලෙස තමයි අද මෙතැනට සහභාගි වී සිටින්නේ. ඒ පිළිබඳව ඔබට ස්තූතිවන්ත වෙනවා.

ඔබ සියලු දෙනා මීට පෙර කවර හෝ දේශපාලන ව්‍යාපාරයකට උදවු කරලා ඇති. දායකත්වය ලබාදී ඇති. ඒ බොහෝ පිරිසක් ජනාධිපතිවරු බලයට ගේන්න, ආණ්ඩු බලයට ගේන්න උදවු කළේ පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් නෙවෙයි. නමුත් ඒ නායකයන් සහ ආණ්ඩු ඔබේ අපේක්ෂාවන් තුට්ටුවකට මායිම් නොකර බිඳවට්ටලා දැම්මා. ඒ දේශපාලන පක්ෂ ගැන, නායකයන් ගැන කලකිරීමක්, කෝපයක් අද ඇතිවෙලා තියෙනවා ඇති. ඒක තමයි පහුගිය කාලේ ගෝල්ෆේස් පිටිය ඇතුළු අපේ රට පුරා ප්‍රකාශයට පත්වුණේ. ඊට ඔබේ ආශීර්වාදයත් සහයෝගයත් ලැබෙන්න ඇති.

මා ඔබට එක බලාපොරොත්තුවක් දෙන්නම්. ඔබ අප කෙරෙහි තබන විශ්වාසය, අපේක්ෂාව, බලාපොරොත්තුව බින්දුවකින් හෝ බිඳවැටීමට ඉඩ නොතබන බවට සහතික වෙනවා. ඔබට අපේ රට ගැන තිබෙන අපේක්ෂාවම, බලාපොරොත්තුවම, සමහරවිට ඊටත් වඩා අපේක්ෂාවක් බලාපොරොත්තුවක් අපිට තිබෙනවා. මොකද මේ විධියට අපේ රටට අඟලක්වත් ඉදිරියට යන්න බැහැ. තවදුරටත් අපේ ජනතාවට මේ විධියට දුක්ඛ‍ෙදා්මනස්සයන්වලට මුහුණදෙමින් ජීවත් වෙන්න බැහැ. මේ පාලනය අනිවාර්යයෙන් වෙනස් කළ යුතුයි.

ඔබ දන්නවා වුණත් අද අපේ රටේ ඛේදවාචකය මොනතරම්ද කියලා. නීතියේ විධානයේ ආධිපත්‍යය නැති රටක් බවට ලංකාව පත්වී තිබෙනවා. අපරාධ ගහන රාජ්‍යයක් බවට පත්වී තිබෙනවා. ජනගහනයෙන් 68%ක් තුන්වේල කන්නේ නැහැ. තව පිරිසක් කන ප්‍රමාණය අඩුකරලා. එහෙම නැත්නම් රුචි නොවන ආහාර ලබාගන්නවා. ජනතාවට නිසි ආහාර වේලක් නැහැ. ඒ වගේම රට මහා ණය කන්දක හිර කරලා.

මේ ගමන් මාවත අපි වෙනස් කළ යුතුමයි. පළමුවෙන්ම අපි බලය ගත යුතුයි. දෙවනුව රට හැදිය යුතුයි. අපේ රටේ වසර 75ක් පමණ ප්‍රධාන පක්ෂ දෙකක් මත පාලනය කේන්ද්‍රගත වී තිබුණා. අද වනවිට ඒ පක්ෂ දෙකක් නොව එකක් බව ඔප්පු කොට තිබෙනවා. ලංකාවේ පළමු වතාවට මේ දේශපාලන පිල් දෙක එකට එකතුවී තිබෙනවා. වංචා, දූෂණයේදී මේ අය එකම පිලක ඉන්නේ.

ලංකාවේ ජනතාව දේශපාලන වශයෙන් දැනුවත් වී ක්‍රියාකාරී වී තිබෙනවා. එය කොතරම්ද කියනවා නම් ලක්ෂ 69ක ඡන්ද ලබා බලයට පත්වූ ජනාධිපතිවරයා පලවා හැරීමට ජනතාව සමත් වුණා. ආණ්ඩුව පලවා හැරියා.

ඉස්සර යූ.එන්.පී. හෝ ශ්‍රී ලංකා ආණ්ඩු බලයට ගෙනාපු ජනතාව පාර්ලිමේන්තුවේ කෑගහන්න හතර පස්දෙනෙක් ඉන්න ඕනෑ කියලා තමයි අපිව තෝරා ගත්තේ. අපේ ආණ්ඩුවක් හදන්න දෙනවා තබා ප්‍රධාන විපක්ෂය කිරීමටවත් ඔවුන්ට වුවමනාව තිබුණේ නැහැ. එහෙත් අද ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ගොඩනැඟීමේ අපේක්ෂාවෙන්, බලාපොරොත්තුවෙන් අපේ ජනතාව බලා ඉන්නවා.

– අනුරාධා හේරත්

Latest News

More like this

දේශීය ආදායම කඩිනමින් ඩිජිටල් කරන්න.. ජනපතිගෙන් නියෝගයක්

රටේ බදු පදනම පුළුල් කිරීමටත්, බදු ගෙවීමේ ක්‍රියාවලිය මහජනතාවට...

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් නිදහස් කිරීම පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා… ඇමති අනිල්

විධිමත් පරීක්ෂණයකින් තොරව රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය...

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණය රජය ඇතුළාන්තයෙන්ම භාජනය විය යුතු පරීක්ෂණයකි… ජනපති අනුර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ පරීක්ෂණය රජය, රජයේ ඇතුලාන්තයෙන්ම භාජනය...

ජපානය දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ට්‍රම්ප් තීරුබදු ලිපි යවයි…

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය රටවල් 14 ක...
error: Content is protected !!