ප්‍රේමයේ ලස්සනම තැන් උපදින්නේ ඒක අන්සතු වෙන තාක්කල්…

0

පසුගිය මාර්තු 8 වැනිදා සිට අහන්න දකින්න ලැබෙන සේම එක්වරක් ඇසූ පමණින් මතකයේ රැඳෙන මේ මියුරු ගීතයේ පදවැල ලියවෙන්නේ ප්‍රවීණ උසස් පෙළ සිංහල උපදේශක සහ සාහිත්‍ය විචාරක අකිල විමංග සෙනෙවිරත්න අතින්.

ඒ පදවලට රස මිහිර මුසු කරන්නේ උදාර සමරවීර නම් තරුණ සංගීත නිර්මාණ අධ්‍යක්ෂකවරයාගේ සංගීත සත්සර රටා තුළින්. එලෙස රස මැවෙන සංගිත නාදයන් ඔස්සේ මේ පද පෙළට ආදරණීය ජීවය ලබා දෙන්නේ මතකයේ රැඳුණු ගීත ගොන්නකම හිමිකාරිය වූ සමිතා මුදුන්කොටුව.

“හැමරෑම මං එක්ක…” ගීතය ඉතා සීග්‍රයෙන් ජනතාව ආදරෙන් වැළඳ ගනිද්දී, එහි පද පෙළේ හිමිකරු අකිල විමංග සෙනෙවිරත්න සමගින් අප කළ සොඳුරු කතාබහයි මේ….

මෙවැනි ගීතයක් ලියන්නට හේතු වුණේ ඇයි…

ප්‍රේමයේ ලස්සනම තැන් උපදින්නේ ඒක අන්සතු වෙන තාක්කල්. ඒ කියන්නේ තමන්ගේ කරගන්න බැරි තාක්කල්. අපි සාමාන්‍යයෙන් පෙරදිග රටවල්වල ආදරේ කරන්නේ අයිතිවාසිකම් එක්ක. ආදරේ හා සමානවම අයිතිවාසිකමක් ඉල්ලනවා. එතකොට වෙන්නේ සමහර තැන්වලදී අයිතිවාසිකම්වලින් එළියේ ආදරේ උපදින්න පුළුවන් වෙනවා. ආදරේ තියෙනවා. හැබැයි කවදාවත් එයාව අපේ කර ගන්න අයිතිකරගන්න බැහැ. නමුත් එතැන ප්‍රේමය නැහැ කියන්න බැහැ. එතැනත් ප්‍රේමය තියෙනවා. එහෙම වුණාම ඒ ප්‍රේමය දැනෙන්නේ සියුම් වේදනාවක් මුසුවුණු එකක් විදියට. එදා ඉඳලම සාහිත්‍ය තුළත් මෙවැනි ප්‍රේම කතා තියෙනවා. ඇත්ත ජීවිතවලත් එහෙමයි. මගේ පුද්ගලික ජීවිතෙත් එහෙම තියෙන්න පුළුවන්. මම ඒ දේ කොහොමද ගැහැණියකට දැනෙන්නේ කියන තැනින් මේ ගීතය ලියන්නේ. ගැහැනිය සංස්කෘතික වශයෙන් සාමාන්‍යයෙන් කොටුවෙලා ඉන්නේ. එහෙම සංස්කෘතික වශයෙන් කොටුවෙලා ඉන්න ගැහැනියකට ඒක දැනෙන්නේ කොහොමද කියන එක.

මේ අදහස ඇයි පිරිමි කෝණයකින් නැතුව ගැහැනු කෝණයකින් ලියන්නේ…

ඒකට හේතුව තමයි ප්‍රේමයේ ලස්සනම තැන් ගොඩක් පිරිමි කතා කරලා තියෙනවා. හැබැයි ගීත කලාව තුළ ගැහැනියකගේ දෘෂ්ටියෙන් කතා කරන නිර්මාණ අඩුයි කියලයි මට හිතෙන්නේ. ගායිකාවන් ගත්තත් පිරිමි ගායකයින් දහයකට එක ගායිකාවක් වගේනේ ඉන්නේ. එතකොට ගැහැනියකට දැනෙන දේ ප්‍රකාශ කරන්න පොඩි හිස්තැනක් තියෙනවා. ඒ නිසා මම හිතලමයි මේ ගීතය ගැහැනු කෝණයකින් ලිව්වේ. ගැහැනියකට තියෙන හැඟීම් සංස්කෘතික වශයෙන් එළියට දාගන්න විදියක් නැති කමක් තියෙනවා. අනිත් කාරණාව තමයි මට ආසාවක් තිබ්බා සමිතා මුදුන්කොටුවගේ හඬට ගීතයක් ලියන්න. සමිතා තමයි ලංකාවේ ලස්සනටම හැඟීම් ගායනා කරන ගායිකාව. මේ සියල්ල හින්දා මම මේක ගැහැනු කෝණයකින් ලිව්වා.

සමිතාට මුලින්ම සින්දුව දුන්නම මුලින්ම ඇයගෙන් ලැබුණු ප්‍රතිචාරය කොහොමද?

සමිතාට සිංදුව මුලින්ම යැව්වේ මෙහි සංගීත අධ්‍යක්ෂණය කළ උදාර සමරවීර. සමිතා අනිත් පැත්තට උදාරට එවලා තිබ්බේ “පට්ටයි මල්ලි” කියලා. එතැනින් පස්සේ සමිතා ගීතය ගායනා කරන්න ආව දවසේ ඉඳලා, අපි ආයේ ආයේ ඇහුවා. සමිතාගේ යාළුවො සහ සමිතාගේ ගෙදර අය පවා මේ ගීතයට කැමති වුණා. ගීතයට අපි නිර්මාණය කළ විෂුවල් එක දැකලා පවා සමිතා අක්කා සෑහෙන්න සතුටු වුණා.

ගීතයේ, රූප රචනාවට යොදා ගන්නේ ඉසුරු සහ තරින්දි, අපි ඒ ගැනත් කිව්වොත්…

චාරුක දුෂ්මන්ත තමයි මේ වීඩියෝ එක නිර්මාණය කළේ. ඔහු තමයි මෑත කාලයේ ජනප්‍රිය වුණු ගීත බොහොමයක රූප රචනාව කළේ. ඒ නිසා නවීන්, චාරුක සහ මම, අපි තුන්දෙනාම එකතු වෙලා තමයි ඉසුරු සහ තරින්දිව ගමු කියලා තීරණය කළේ. එතැනදී අපිට ඕනේ වුණේ නැහැ ඔවුන්ගේ පුද්ගලිකත්වය සම්බන්ධව මාර්කට් කරන්න. චාරුක මෙහි ස්ක්‍රිප්ට් එක හැදුවම ඇස්වලින් කතා කරන ෂොට් තිබ්බේ. ඒ නිසා ඇස්වලින් රඟපාන්න පුළුවන් ලංකාවේ ඉන්න දක්ෂම නිළියක් තමයි තරින්දි. යූටියුබ් එක හරහා වීඩියෝ එක බලද්දී පවා දකින්න පුළුවන්, කාමය, රාගය, එයාට දැනෙන තනිකම ඇස්වලින් රඟපානවා. ඉසුරුව තෝරා ගත්තේ ඉසුරු ලොකු හෙට්ටිආරච්චි කිව්වම ඕනෙම චරිතයක් රඟපාන්න පුළුවන් සහ ඉසුරු ඉඳීම තුළ වීඩියෝ එකට බර ගතියක් දැනෙන නිසා ඔහුව සම්බන්ධ කර ගත්තා.

සමාජය මෙය දකින්නේ අසම්මත පෙමක් ගැන ලියූ ගීතයක් ලෙසින්නේ, සමාජය දකින මේ අසම්මත පෙම ඔබ කොහොමද අර්ථගන්වන්නේ…

ඒක මෙහෙමයි. අපේ රටේ දස්කොන් ප්‍රමිලාගේ ප්‍රේමයට අපි ආශිර්වාද කරනවා. ඒ වෙනුවෙන් දුක් වෙනවා. ඒ කියන්නේ සාහිත්‍ය කතාවල අසම්මත ප්‍රේමයන්වලට අපි කැමතියි. ජැක්-රෝස් ගත්තත් අසම්මතයිනේ. හැබැයි ජැක්-රෝස් එකතු වුණා නම් අපි කැමතියි. ඒ නිසා ප්‍රේමයට සම්මත අසම්මතද කියලා දෙයක් නැහැ. මේකේ එක පාරක් පණ පොවන්න… ඇය රවටා එන්න බැරිද…. එතකොට ඇය කියන්නේ ඔහු විවාහක වෙලා ඉන්න කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් එයාට වෙන ප්‍රේමයක් තියෙනවා නමුත් ඒ තුළ ඉන්නේ අසතුටින් වෙන්න පුළුවන්. මෙතැනදී වෙන්නේ ගැහැනියකට දැනෙන හැඟීම් එළියට දැම්මොත් මිනිස්සු බණිනවා. නමුත් පිරිමියෙක්ගේ හැඟීම් එළියට දැම්මොත් සමාජයේ මිනිසුන් බණින සම්භාවිතාව අඩුයි. සරලව කිව්වොත් පිරිමියෙක් මට කෙල්ලෝ පස්දෙනෙක් ඉඳලා තියෙනවා කියලා. ඒක වීරකමක්. හැබැයි කෙල්ලෙක් කිව්වොත් මට කොල්ලෝ පස්දෙනෙක් ඉඳලා තියෙනවා කියලා, ඒක වීරකමක් නෙවෙයි. පද හැදෙන්නෙත් ගැහැනුන්ට. ඒ නිසයි ගැහැනියගේ පැත්තට ලිව්වේ.