Koffee With Karan වැඩසටහනේ දීපිකා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් නිසා රන්වීර් බොලිවුඩයේ විල් ස්මිත් වෙයි

0

වෙනත් සම්බන්ධතා කිහිපයක් තියෙන අතරෙම රන්වීර් සිං තමන්ගේ හිතේ හිටියා කියල දීපිකා පදුකෝන් කරපු ප්‍රකාශයක් නිසා සමාජ මාධ්‍යවල දැන් රන්වීර්ට කියන්නෙ බොලිවුඩයේ විල් ස්මිත් කියලා. මේ ප්‍රකාශය කරන වෙලාවේ රන්වීර්ගේ මූණෙ ඉරියව් වෛරල් වෙන්න පටන් ගෙන තියෙන්නේ ඔහුව සමච්චලයට ලක් කරමින්.

දීපිකා කරපු ප්‍රකාශයත් එක්ක අන්තර්ජාලයේ ඉන්න රසිකයන්ට විල් ස්මිත් මතක් වෙන එක වළක්වන්න බැරිවුණා. විල් ස්මිත් සහ ඔහුගේ බිරිඳ පින්කට් ස්මිත් එකපාරක් දෙන්නම සහභාගී වුණු වැඩසටහනක් අතරතුර ඔගස්ට් ඇල්සිනා එක්ක ඇගේ අනියම් සම්බන්ධයක් ගැන කියන අතරම විල් සමඟ ඇගේ බැඳීම ගැන කතා කළා. ඒ මොහොතේ විල් ස්මිත්ගේ මුහුණේ ඉරියව් සහ දීපිකාගේ ප්‍රකාශය අතර රන්වීර්ගේ මූණෙ ඉරියව් සන්සන්දනය කරමින් රන්වීර් පත්වුණේ විල් පත්වුණු තත්ත්වයටමයි කියලයි හුඟක් අය කියන්නෙ.

දීපිකා මේ ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ ජොහාර්ගේ Koffee With Karan වැඩසටහනේ 8 වැනි වටයේ ආරම්භය සනිටුහන් කරමින් එහි මංගල වැඩසටහන සහභාගී වෙමින්. බොලිවුඩ් තරු විවෘතව කතා කරන වේදිකාවක් වගේම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතේ සැඟවුණු රහස් හා අප්‍රකට තොරතුරු හෙළි දරව් කරන මේ වැඩසටහන් මාලාව ලෝකය පුරා ජනප්‍රියයි. බොලිවුඩ් තරු ගැන උනන්දු හැමෝම වගේ මේ වැඩසටහන දිහා බලාගෙන හිටියා. දීපිකා සහ රන්වීර් සහභාගී වීම නිසා ඒ උනන්දුව දෙගුණ තෙගුණ වුණා.

ඒත් වැඩසටහන විකාශය වෙලා ඇයට එරෙහිව සමාජ මාධ්‍යවල වෛරී අදහස් පැතිරෙන්න වැඩිවෙලාවක් ගියේ නැහැ.

එකවර සම්බන්ධතා කිහිපයක් තිබුණා වගේම ඒ අතර රන්වීර්ටත් ප්‍රේම කළ බව ගැන කීම ගොඩක් අයගේ පිළිකුලට හේතු වුණු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කියන්නේ. සමහරු එය කුහක ප්‍රකාශයක් ඇය කුහක ගැහැණියක් කියල පවා හඳුන්වන්න තරම් මේ ප්‍රකාශය දරුණු එකක් වෙලා.

ඒත් මධ්‍යස්ථව බලන ඔවුන්ට ආදරය කරන රසිකයන් නම් වැඩසටහනට ආදරණීය ප්‍රතිචාර තමයි දීල තියෙන්නෙ. පළමු වතාවට එහි බෙදාගත්තු දීපිකා සහ රන්වීර්ගේ විවාහයේ වීඩියෝවටත් බොහෝ දෙනෙක්ගේ ආදරය ඒ අතර හිමිවුණා.