මට වැඩක් සෙට්වුනා.. මං දැන් ඉන්නේ ඩුබායි වල – මේනකා මධුවන්ති

0

මේනකා මධුවන්ති කියන්නේ කාලයක් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වූ චරිතයක්.
මොන විලාසිතාව කළත් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයට මඩ ප්‍රහාර එල්ල කළා. බොහෝ දේවල් දරාගෙන හිනාවෙලා හිටපු මේනකා අවුරුදු තුනක් තිස්සේ නිර්මාණවලින් දකින්න ලැබෙන්නේ නැහැ.

නිරන්තරයෙන්ම රූපවාහිනිය ඔස්සේ දැකගන්න ලැබුණු මේනකා ආදරය නිසා කලා ජීවිතය කැප කරලා. නමුත් දැන් ඇයට ආදරයත් අහිමි වෙලා. කලාවෙනුත් ඈත් වෙලා දුරු රටක ජීවත් වෙන ඇය ගැන අලුත් තොරතුරු මේ විදිහට සති අන්ත පුවත්පතකට පවසා තිබුණි.

ලංකාවේ තියෙන ප්‍රශ්න එක්ක බොහෝ දෙනෙක් ලංකාව අතහැරලා යනවා. මේනකා ඔබත් අන්තිමට විදෙස්ගත වුණා නේද..?

මම ඉන්නේ දැන් ඩුබායිවල. මම මුලින්ම මෙහේ එන්නේ ඩිප්ලෝමා එකක් කරන්න. ඊට පස්සේ මට හොඳ ඔෆර් එකක් ලැබුණා. ඊට පස්සේ මට හිතුණා ලංකාවට යනවට වඩා මෙහෙ නතර වෙලා ඒක කරන එක හොඳයි කියලා . මෙහේ තියෙන සැලෝන් දෙකක මම කළමනාකාරිනියක් විදියට වැඩ කරනවා. වැඩ කටයුතු සතුටින් කරගෙන දවස ගෙවනවා. දැන් ඇත්තටම ලංකාවේ ජීවත් වෙන්න අමාරුයි. තියෙන ආර්ථික ප්‍රශ්න එක්ක.

ඩුබායිවල ලංකාවේ බොහෝ දෙනෙක් වෙසෙනවා, කොහොමද ලැබෙන ප්‍රතිචාර නිළියක් කියලා අඳුර ගන්නවද..?

ලංකාවේ බොහෝ දෙනෙක් මම ඉන්න සැලෝන් එකටත් එනවා ජොබ් හොයාගෙන. මට පුළුවන් විදිහට මම උදව් කරනවා . සමහර අය ට්‍රීට්මන්ට් කරන්න එනවා. ඔය දෙගොල්ලන්ම මම නිළියක් කියලා අඳුරගෙන තියෙනවා. කතාබහ කරලා තියෙනවා සමහර අයට නමින් මතක නෑ රූපේ මතකයි. එහෙම ප්‍රතිචාර ලැබිම සතුටක්. මොකද මම ඉන්නේ වෙනම රටක. ඒ නිසා ඒ ප්‍රතිචාර හරියට හිතට දැනෙනවා.

කාලයක් කතාබහට ලක්වෙච්ච මේනකා දැන් සම්පූර්ණයෙන්ම රංගනයෙන් ඈත් වෙලාද ඉන්නේ..?

මම නිර්මාණයකට අන්තිමට සම්බන්ධ වුණේ අවුරුදු තුනකට විතර කලින්. ඒ සිවගුරුනාදන් මහත්මයාගේ. ජනප්‍රියම ටෙලි නාට්‍යයකට මීට අවුරුදු දෙකකට කලින් මට ආරාධනාවක් ලැබුණා. ඒක දැන් අතිශය ජනප්‍රිය නාට්‍යයක් බවට පත් වෙලා. නමුත් මම ඒකට සම්බන්ධ වුණේ නැහැ. ඒ වෙනකොට මම තීරණයකට ඇවිල්ල හිටියෙ මේ කාලෙ වෙනකොට මම රංගනයෙන් ඈත් වෙනවා කියලා. ඒ ප්‍රතිපත්තියේම තමයි මම හිටියේ. ඒ නිසා තමයි ආයෙමත් මම රංගනයට සම්බන්ධ වුණේ නැත්තෙ. ලංකාවට ගිය කාලයක හිතුණොත් ආයෙත් රඟපාන්න ඉඩ තියෙනවා

පෙම්වතා නේද කිව්වේ රඟපෑමෙන් අයින් වෙන්න කියලා..?

ඔව්. මට ප්‍රේම සම්බන්ධතාවක් තිබ්බා අවුරුදු හතරක. එයා කැමති වුණේ නැහැ මම රඟපානවට. ඒ නිසා මම රංගනයෙන් ඉවත් වුණා. ඒ ආදරේට ගරු කිරිමක් විදිහට. ඒක බොරුවක් නෙමෙයි ඒ කතාව ඇත්ත. එයාගේ කැමැත්තට තමයි අයින් වුණේ.

ඔබ ආදරය වෙනුවෙන් ලොකු කැප කිරිමක් කළත් දැන් ඒ ප්‍රේමය ඔබව මඟ හැර ගිහින්..?

මගේ ප්‍රේමය අතරමඟදී නතර වුණා. එයා මට අවස්ථා කිහිපයකදීම බොරු කරලා අහුවෙලා තියෙනවා. සමාව දුන්නා සැහෙන්න. නමුත් එයා වෙනස් වුණේ නැහැ. හැමදාමත් කළේ බොරු. මගේ ප්‍රේමය අතරමඟදී නතර වුණා. මානසික පීඩනයකට ලක් වුණා. ඒ දුක ඒ වේදනාව මෙන්න මෙහෙමයි කියලා කියන්න බැරි තරම්. මම ප්‍රශ්න, කරදර බොහෝමයකට මුහුණ දුන්නා. නමුත් එයා නිසා අවසානයේදී මම රංගනයෙනුත් ඉවත් වුණා. අන්තිමට ඒ ආදරෙත් අහිමි වුණා. ඒ ආදරේ වෙනුවෙන් මම කැපකිරිම් කළා. රට එන්න ප්‍රධාන හේතුවත් ඒක තමයි. අවංකවම කිව්වොත් මම එයා ගැන ටිකක්වත් කතා කරන්න කැමති නැහැ. මට අපහසුයි තවම ඒ මතක හිත පාරනවා. එයා මට කරපු දේවල් කියපු දේවල් මතක් වෙනකොට අදටත් මම සෑහෙන්න දුක් වෙනවා. නමුත් එයා අහිමි වුණාට පස්සේ මම සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. දැන් තමයි මම සතුටින් ජීවත් වෙන්නේ. මම ඒ කාලේ ලොකු මානසික පීඩනයකින් හිටියේ නමුත් මම දැන් සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙනවා එක වෙලාවකට හිතෙනවා තනිකම හොඳයි කියලා.

ඒ කියන්නේ ආදරේ කරන්නේ නැහැ. විවාහ වෙන්නේ නැහැ කියන එකද..?

ඒ ආදරෙන් කොච්චර දුක් විඳින්න වුණාද කියලා කිව්වොත් ආයෙ ආදරේ කරන්න හිතෙන්නේ නැති තරම් බයක් හිතට දැනෙනවා. කවුරු හරි ආදරෙයි කියල කිව්වොත් එයාලත් මාව රවටයි බොරු කරයි මට දුක් විඳින්නවෙයි කියලා හිතෙනවා. දැන් ආදරේ කරන්න බයයි. දැන් තියෙන එකම ප්‍රශ්නය ඒක තමයි. දැනට මම ආදරේ ගැන හිතන්නේ නැහැ. විවාහය ගැන හිතන්නෙත් නැහැ, බලමු මොකද වෙන්නේ කියලා. නමුත් දැනට නම් මගේ හිතට ආදරයක් උපදින එකක් නැහැ. මම දැන් නිදහසේ සතුටින් ජීවත් වෙනවා

ආදරේ නිසා රංගනයෙන් ඉවත් වෙන්න සිදු වෙච්චි එක ගැන දුකක් නැද්ද..?

මම රඟපෑම වගේම නර්තනයට සම්බන්ධ වුණා මම කලාවට සම්බන්ධ වෙන්නෙ අවුරුදු විසි එකේදි. ලොකු කාලයක් කලාවත් එක්ක ඉඳලා ඒකෙන් ඈත් වෙච්ච එක ගැන දුකක් නැහැ කියන්න බැහැ. ඇත්තටම දුකක් තියෙනවා. නමුත් ආදරෙත් එක්ක පෞද්ගලික ජීවිතේ හදාගන්න ඕන නිසා මම රංගනයට සමු දුන්නා. නමුත් මම තේරුම් අරගෙන ඉන්නේ හැමදාම කලාවත් එක්ක ඉන්න බැහැ කියන එක. කවද හරි දවසක අපිට හැම දේකටම සමුදෙන්න සිදු වෙනවා. ඒ නිසා ඒ ගැන හිතන්නේ නැහැ දැන්.

ඉස්සර මේනකා කතාබහට ලක්වුණේ විලාසිතා නිසා, තවම විලාසිතාවලට මුල් තැනක් දෙනවද..?

කාලෙන් කාලෙට විලාසිතා වෙනස් වෙනවා. අපේ වයසත් එක්ක අපේ සිතුම් පැතුම් එක්ක. අපි පරිණත වෙනකොට අපි දන්නවා අවුරුදු විසි එකේදි කරපු විලාසිතා අද ගැළපෙන්නේ නැහැ කියලා. මම විලාසිතා කරනවා. නමුත් ඉස්සරට වඩා සෑහෙන වෙනස් මම කරන විලාසිතා. මට ගැළපෙන විලාසිතා මම කරනවා කිව්වොත් හරි. ඉස්සර මොනා කළත් පොඩි දෙයකින් ඒවා සෝෂල් මිඩියා ඔස්සේ පැතිරෙනවා. දැන් කිසිම දෙයක් භාවිත කරන්නේ නැහැ. ඒ නිසා නිදහසේ සාමාන්‍ය ජීවිතේ භුක්ති විදිනවා.

මේනකාට විතරක් නෙමෙයි ඕනෑම කලාකරුවෙකුට සමාජය විසින් මඩ ප්‍රහාර එල්ල කරනවා. මේනකා කියන්නේ විශේෂයෙන් ම ගොසිප් හැදුණු කෙනෙක් ..?

මම නර්තන ශිල්පිණියක් වගේම නිළියක් හැටියට කාලයක් කටයුතු කළා. අවුරුදු තුනක් වෙනවා කිසිම නිර්මාණකට සම්බන්ධ නොවි. එහෙම ඉන්න තවත් හේතුවක් තමයි ඔය කියන ගොසිප්. කොහොම හිටියත් කතා හදන අය හදනවා. සමාන්‍ය ජීවිත ගත කරන හොඳින් ඉන්න අයටත් එහෙමයි . නමුත් මේ සමාජයේ මිනීස්සු හිතන්නේ සමාජ මාධ්‍යවල ඡායාරූප දැම්ම පළියට කලාකරුවෝ අමුතු මිනිස්සු කියලා . කරන කියන දේවල්වලින් මනින්නේ. නමුත් අපිත් සාමාන්‍ය මිනිස්සු. අපිටත් දුක වේදනාව අනිත් අයට වගේ දැනෙනවා. හිත් රිදීම් වෙලා තියෙනවා. ඔය දේවල් එක්ක කලකිරිමක් නැහැ කියන්න බැහැ. මෙහෙම ඉන්නකොට නිදහසේ ඉන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here