මුළු රටම ඩිජිටල් වෙනවා.. අනිත් පැත්තෙන් ඩර්ටි පොලිටික්ස් ඉවර කරලා දෙනවා

2030දි තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රය ඔස්සේ ඩොලර් බිලියන 05ක අපනයන ආදායමක් ඉපයීම හා වසරකට 30,000 ක් මෘදුකාංග ඉංජිනේරුවන් බිහි කිරීම ජාතික ජන බලවේගයේ ඉලක්කකය බව එම පක්ෂයේ නායක අනුව්‍ර කුමාර දිසානායක මහතා පවසනවා.

ඉන්දියාවේ අයි.ටී. ක්ෂේත්‍රයෙන් පමණක් අපනයන ආදායම ඩොලර් බිලියන 194 ක් රැස් කරද්දී අපේ අයි.ටී. ක්ෂේත්‍රයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.2 ක් බවත් එය ලෝකයේ ඇති වුණු විද්‍යා හා තාක්ෂණ දියුණුවට අනුරූපවන පරිදි අපේ ආර්ථිකය පෙළ ගස්වා ගැනීමට අසමත් වීමේ ප්‍රතිඵලය බව ඔහු සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ NPP තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ගේ සමුළුව ජාතික සමුළුව අමතමිනි.

විවිධ ක්ෂේත්‍රවල, විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කරමින්, අයි.ටී. ක්ෂේත්‍රයට ඉතාමත් වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ බව ඔහු කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා..

“මේ කාලයේ ස්මාර්ට් ඇග්‍රිකල්චර්, ස්මාර්ට් ක්ලාස්රූම් ගැන කතා වෙනවා. හැබැයි රටේ තිබෙන්නේ ඩර්ටි පොලිටික්ස්. මම හිතනවා ඩිජිටල්කරණයට යාමට පෙර දේශපාලන පිටිය සුද්ද කළ යුතුයි. මීට සතියකට පෙර එක් අයෙක් කෙරෙහි බරපතළ විවේචන එල්ල කරන කෙනා ඊළඟ සතියේ නැවත එයා වර්ණනා කරන තත්වයට පත්වී තිබෙනවා. මාධ්‍යවල බ්රේකින් නිව්ස්වලින් එන්නේ එහෙන් මෙහාට, මෙහෙන් එහාට පනින තොරතුරු. අපි ඔබට සහතිකයක් දෙනවා මේ සියල්ල කරන්න කලින් මේ දේශපාලන පොර පිටිය පිරිසිදු කළ යුතුයි.

අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙනවා. අපේ ඉලක්කය වන්නේ, 2030දි ඩොලර් බිලියන 05ක අපනයන ආදායමකට යන්න. ඉතාමත් හොඳ විභවතාවක් අපට තිබෙනවා. ඉන්දියාවේ අයි.ටී. ක්ෂේත්‍රයේ නිපුණතාවය තිබෙන කෙනෙක් සාමාන්‍යයෙන් වාර්ෂිකව උපයනවා ඩොලර් 36000ක්. සිංගප්පූරුවේ සාමාන්‍ය අගය ඩොලර් ලක්ෂ දෙකයි. ලංකාවේ සාමාන්‍ය අගය ඩොලර් 14200යි. මේ ගැප් එක අපිට පනින්න පුළුවන්. අපි ක්ෂේත්‍ර ගණනාවකට අයි.සී.ටී. යොදාගැනීම ගැන කල්පනා කොට තිබෙනවා. අපේ ආර්ථිකයේ පංගුව වැඩිකර ගැනීම සඳහා, අපේ රටේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කර ගැනීම සඳහා, රාජ්‍යයේ ගනුදෙනුවල විනිවිදභාවය ඇතිකර ගැනීම සඳහා මේ ක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද? තොරතුරු සහ දැනුම පුරවැසියන් වෙත ගලාගෙන යාම සඳහා, පුරවැසියා බල ගැන්වීම සඳහා මෙම ක්ෂේත්‍රය උපයෝගී කර ගන්නේ කොහොමද? කියන එක අපි සැලසුම් සකස්කොට තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදි කිව්වා, අපේ රටෙන් එළියට ඩොලර් බිලියන 52ක් අරගෙන ගිහින් තිබෙනවා කියලා. මේ වෙලාවේ අපේ විදේශීය ණය සමස්තය ඩොලර් බිලියන 36යි. හැබැයි පාර්ක් කර තිබෙනවා ඩොලර් බිලියන 52ක්. රේගුවේ තිබෙන තත්වයත්, අපනයනය කරන ප්‍රමාණය පිළිබඳ දත්තත් අපේ බැංකු පද්ධතිය හරහා එනවාද කියා මනින්න ලින්ක් එකක් නැහැ. මෑතකදී සුරාබදු හිමිකරුවන් කිහිප දෙනෙක් බදු ගෙවා නැති බවට රාවයක් යනවා.

ඒ ඒ ස්කාගාරවලින් මත්පැන් මිලදී ගත්ත අය බද්ද ගෙවලා ඒවා පාවිච්චි කර තිබෙන්නේ. හැබැයි ස්කාගාර හිමියන් ආණ්ඩුවට බදු ගෙවා නැහැ. ව්‍යාපාරයක් වැට් බද්දට රෙජිස්ටර් වෙන්න නිශ්චිත අගයක් තිබෙනවා. වැට් බද්දට යටත් වෙන්නේ නිශ්චිත අගයකින් එහා පිරිවැටුමක් තිබෙන අය. වැට් බද්දට යටත් වෙළඳ ආයතනයත් වැට් බද්දට යටත් නොවෙන වෙළඳ ආයතනයත් අපට හඳුනාගත හැකි වෙන්න ඕනෑ. වෙළඳපොළකින් භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපට දැනෙනවාද වැට් බද්දට යටත් කඩයක්ය කියලා. වැට් බද්දට යටත් නිසා ගාන ටිකක් වැඩියි. වැට් බද්දට යටත් නොවන නිසා ගාන ටිකක් අඩුයි. ඒක අපට දැනෙන්න ඕනෑ. වැට් බද්දට රෙජිස්ටර් වෙලා නැතිනම් ගාන ටිකක් අඩු වෙන්න ඕනෑ. ඒ බදු ප්‍රතිපත්තිය හැදුවාට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා වන යාන්ත්‍රණයක් අපට නැහැ.

2003 වසරේ ප්‍රසිද්ධ වැට් බදු වංචාවක් සිදුවුණා. එතන එකතු කළ වැට් බද්ද ගෙවා නැහැ. එකතු කරන වැට් බදුවලින් 40%ක් පමණ භාණ්ඩාගාරයට නොලැබෙන බවට තමයි තොරතුරු ලැබෙන්නේ. ඒක අනුමාන දත්තයක්. එහෙම දත්තයක්වත් සොයා ගන්න හැකියාවක් නැහැ. පුරවැසියාට විශාල බරක් දැනෙන වැට් බද්දක් තිබෙනවා, පුරවැසියන් ඒ බද්ද ගෙවා තිබෙනවා. ඒ ආපු බද්ද එකතුකර ගැනීම සඳහා යාන්ත්‍රණයක් අපට නැහැ. මේ ආදායම් වර්ධනය කර ගැනීමේ ක්ෂේත්‍රයේ අලුත් අදියරක් අවශ්‍යයි. එකතු වෙන සෑම අදියරකින් තමයි මේ බද්ද ගහන්නේ. මේක සංකීර්ණ ක්‍රියාවලියක්. එම සංකීර්ණ ක්‍රියාවලියේ බද්ද එකතුකර ගැනීම සඳහා දියුණු තාක්ෂණයක් අපට අවශ්‍යයි. අපට ඒ ක්ෂේත්‍රයටත් මේ ෆ්ලැට්ෆෝම් එක අවශ්‍යවෙලා තිබෙනවා. එහෙම නැත්නම් මේ බදුවලින් කිසිදු වැඩක් නැහැ.

බොහෝ දෙනෙක් අහනවා ඔයගොල්ලන්ගේ ආණ්ඩුවකදී විනිවිදභාවය මනින්නේ කොහොමද කියා. සමාජයක් විශ්වාස කළ යුත්තේ පුද්ගලයන් මතද? සමාජයක් විශ්වාස කළ යුත්තේ සිස්ටම් එකක් මතද? ආරම්භයේදී සමාජයක් විශ්වාස කරන්න ඕනෑ පුද්ගලයන් මත. පුද්ගලයන්ට කාර්යභාරයක් තිබෙනවා. එය ප්‍රතික්ෂේප කළ නොහැකියි. සමාජයක් දිගුකාලීනව විශ්වාස කරන්න ඕනෑ සිස්ටම් එකක්. මේක හොඳ මිනිසුන්ගෙන් ආරම්භ කරන්න ඕනෑ. දැනට ඇතිවී තිබෙන වංචා, දූෂණ, නාස්තිය පිළිබඳ ප්‍රශ්නයේදී තීරණය කළ යුත්තේ හිත හොඳකම මතද? ඒක සමාජයකට හොඳ නැහැ. විනිවිදභාවය රැකෙන සිස්ටම් එකක් එන්න ඕනෑ. මෙහිදී විශාල පංගුවක් තිබෙනවා අයි.ටී. ක්ෂේත්‍රයට. පාරදෘශ්‍යභාවය ඇති කිරීම සඳහා කොහොමද අපි සිස්ටම් එකක් නිර්මාණය කරන්නේ කියන අභියෝගය අපට තිබෙනවා. මේ ක්ෂේත්‍රය වර්ධනය වීම විසින් ආණ්ඩුවට ප්‍රවේසම් වෙන්න සිදු වෙනවා. මේ ක්ෂේත්‍රයේ වර්ධනයන් විසින් සමාජයක් අවදි කරවනවා. එය කොතරම්ද කියනවා නම් ජනාධිපතිවරයෙක් පළවා හැරීමට තරම් අවදිකිරීමක් කරවා තිබෙනවා. ජනතාවට තොරතුරු ගලාගෙන යනවා. ජනතාවට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. තොරතුරු අනෙකා වෙත සම්ප්‍රේෂණය කිරීමට හැකියාව ලැබෙනවා.”

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!