කළු කුමාරයාගේ කතාවෙන් කාංචනා ලංකාවම කතා කරන ගීතයක් හැදුවා!

(Lakvahini) – ජනශ්‍රැතික විශ්වාසයන් සහ නූතන ගැහැනු අත්දැකීම් එකට මුසු කරමින් නිර්මාණය කළ සිය නවතම ගීතය “මනමාල කතා” ප්‍රේක්ෂකයන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් දිනාගෙන ඇති බව ගායිකා කාංචනා අනුරාධි පවසයි.

ජාතික රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඇය සඳහන් කළේ, 2016 වසරේ ආරම්භ කළ සිය සංගීත ගමනේ මෙතෙක් නිකුත් කළ නිර්මාණ අතරින් මෙම ගීතයට ලැබෙන ප්‍රතිචාරය විශේෂත්වයක් ගන්නා බවයි.

“මෙතෙක් කළ සියලුම ගීතවලට ආදරය ලැබුණා. නමුත් ‘මනමාල කතාව’ට ලැබෙන ප්‍රතිචාරය වෙනස්. ප්‍රේක්ෂකයන් බලාපොරොත්තුවෙන් සිටි ආකාරයේ නිර්මාණයක් බව පෙනෙනවා,” යැයි ඇය පැවසුවාය.

රෝහණ වීරසිංහගේ සංගීතයෙන් සහ සමිත පෙරේරාගේ පද රචනයෙන් නිර්මාණය වූ මෙම ගීතය සඳහා නළු සජිත ඇන්තනි ද දායක වී සිටී. කාංචනා අනුරාධි පෙන්වා දෙන්නේ, වසර කිහිපයක අධ්‍යයනයක සහ කණ්ඩායම් ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම නිර්මාණය බිහි වූ බවයි.

ගීතයේ මූලික සංකල්පය ශ්‍රී ලාංකීය ජනශ්‍රැතියේ එන “කළු කුමාරයා” පිළිබඳ විශ්වාසය වටා ගොඩනැගී ඇත. එය භීතියක් හෝ අන්ධ විශ්වාසයක් ලෙස නොව, වැඩිවියට පත්වන ගැහැනුන්ගේ ආදරය, ලිංගිකත්වය සහ අභ්‍යන්තර හැඟීම් පිළිබඳ මනෝවිද්‍යාත්මක කියවීමක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සාහ කළ බව ඇය සඳහන් කළාය.

“ගැහැනියක් විදියටත්, ගායිකාවක් විදියටත් මේ හැඟීම් ගැන කතා කිරීම මගේ වගකීමක් ලෙස මට දැනුණා,” යැයි ඇය කියා සිටියාය.

මෙම නිර්මාණය සඳහා සජිත ඇන්තනිගේ දායකත්වය විශේෂයෙන් අගය කළ ඇය, ඔහු කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර ව්‍යාපෘතියට එක්වූ බව ද පැවසුවාය.

සංගීතය පිළිබඳව අදහස් දක්වමින් කාංචනා අනුරාධි කියා සිටියේ, සංගීතය යනු “විශ්ව භාෂාවක්” වන අතර ගීතය එහි එක් අංගයක් පමණක් බවයි. ගීතයක පද, තනු සහ භාවය සමබරව එක්වූ විට පමණක් එය ප්‍රේක්ෂකයාගේ හදවතට ළඟා වන බව ඇය විශ්වාස කරයි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් සංගීත අධ්‍යාපනය ලැබූ ඇය, තම නිර්මාණ ජීවිතයට විශ්වවිද්‍යාල අත්දැකීම් මෙන්ම පවුලේ සහයෝගය ද දැඩි ලෙස බලපා ඇති බව පැවසුවාය.

2025 වසරේ Spotify Equal වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම සහ නිව්යෝර්ක් නුවර Times Square හි තම රූපය ප්‍රදර්ශනය වීම සිය සංගීත දිවියේ වැදගත් ජයග්‍රහණ අතරින් එකක් බව ද ඇය සඳහන් කළාය.

“නිර්මාණයකට අසීමිතව අවංක විය යුතුයි. ගීතයක් එළිදක්වන දවස මට දරුවෙක් උපදින දවසක් වගේ,” යැයි ඇය පැවසුවාය.

තම නිර්මාණ ජීවිතයේ මූලික වටිනාකම ලෙස මනුෂ්‍යත්වය, සංවේදීභාවය සහ ස්වභාවධර්මය සමඟ ඇති සම්බන්ධතාවය දක්වන කාංචනා අනුරාධි, ශ්‍රී ලාංකීය සංගීතයට දේශීයත්වය සහ ගැඹුරු අර්ථකථන එක් කරන නිර්මාණ තවදුරටත් බිහිකිරීම තම අරමුණ බව කියා සිටියාය.

Latest News

error: Content is protected !!