වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නුසුදුසු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, නීතිඥ ශාන් රණසූරිය විසිනි.
පෙත්සම්කරු මෙම පෙත්සම ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා චේතනාන්විතවම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කර තිබෙනවා.
එබැවින් ඔහුට ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් කිරීම නුසුදුසු බවයි පෙත්සම්කරු පවසන්නේ.
ඒ අනුව සැප්තැම්බර මස 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
පෙත්සම්කරු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමිනි.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරු කියා සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(1) වගන්තිය යටතේ ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දී ඇති අතර ඔහු මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට ප්‍රතිඥාවක් ලබාදී ඇති බව යි.
එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107(7) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීමේ වගකීමත් ඔහු වෙත පැවරී තිබෙන බව පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් උසස් කිරීම සඳහා යැවූ නාම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීමෙන් අනතුරුව එම උසස්වීමද සිදු නොකෙරුණු බවත් ඉන් පසුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පුරප්පාඩු දෙකක් සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු පහක් මතුව තිබෙන බවත් පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
එසේ ම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කෙරුණු බව ද එහි සඳහන්.
එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ රාජකාරි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් මස 24 වනදා අතුරු නියෝගයක් නිකුත් කළ බව ද පවසනවා.
එම අතුරු තහනම් නියෝගය තුළින් ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට කිසිදු බාධාවක් නොමැති බව ඔහු පෙන්වා දී තිබෙනවා.
එහෙත් තමා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වී ඇති නිසා තමන්ට වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට හැකියාවක් නොමැති බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු, එසේ ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අලී සබ්රි අධිකරණ අමාත්‍යවරයා වශයෙන් පත්කිරීමට කටයුතු කර ඇති බවත් පෙත්සමේ සඳහන් කර තිබෙනවා.
මෙම ක්‍රියාවන් හරහා ජනාධිපතිවරයා චේතනාන්විතව ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තම බලය අයුතු ලෙස පරිහරණය කර තිබෙන බව ද එහි දැක්වෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව උපරිමාධිකරණයට විනිසුරුවරු පත් නොකිරීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝණය කර තිබෙන බව පවසන පෙත්සම්කරු වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් නොකිරීම තුළින් මහජන ආරක්ෂව අනතුරේ හෙළීමට කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.