විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පසුගිය දිනවල පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මක වන බව බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුර ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සිදුකළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමිනි.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු නව විදෙස් ගමන් බලපත්‍ර හිඟවීම හේතුවෙන් එහි කාර්යාල ඉදිරිපිට පසුගිය දිනවල දිගු පෝලිම් නිර්මාණය වූ අතර ජාතික ජන බලවේගය මෙම පාස්පෝට් ගැටලුව පිටුපස රජයේ ටෙන්ඩර් ලබා දීමේ ප්‍රතිපත්තියේ අයථා ගණුදෙනු පවතින බව මෙම ප්‍රවෘත්ති සාකඡාවේදී හෙළි කර සිටියා.
එම චෝදනාව පිළිතුරු ලබා දෙමින් විෂය භාර අමාත්‍ය ටිරාන් අලස් මහතා,
“පෝලිම් හැදුණේ පාස්පොට් එකේ අඩුකම නිසා නෙමෙයි. අපි ඉස්සරවෙලා පටන් ගත්තේ ඔන්ලයින් එපොයිමන්ට්. අපි රෑ 12ට ඔන්ලයින් එපොයිමන්ට් එක ඕපන් කළා. මිනිත්තු 15ක් 20ක් යනකොට ඔක්කොම එපොයිමන්ට් ඉවරයි. එක කට්ටියක් සිම් පත් 100ක් පමණ අරගෙන එවලෙම එපොයිමන්ට් ටික අරගන්නවා. ඒ එපොයිමන්ට් එන අහිංසක මිනිස්සුන්ට විකුණනවා රුපියල් 45,000කට. ඒක මම දැනගත්විට වහාම ඔන්ලයින් එක නවත්වන්න කිව්වා. නවත්තලා පෝලිමේ එන්න අරින්න, එතකොටත් පෝලිම හැදෙනවා ඉවරයක් නැහැ. ඊට පස්සේ පෝලිමේ ඉඳලා ඒක විකුණනවා රුපියල් 20,000ට 25,000ට. ඊට පස්සේ තමයි මම තීරණයක් ගත්තේ පෝලිම භාරගන්න කිව්වා පොලීසියට. පොලිසියට කරන ක්‍රමය කිව්වා ඒ දිනයෙන් පස්සේ දැන් 10.30, 11.30 වනවිට පෝලිම් ඉවරයි. පාස්පෝට් අවුලට ආගමන විගමන ලොක්කෝ පෝලන්තයට ගියා කිව්වා. මේවා අමූලික බොරු. දැන් පාස්පෝට් චීෆ් මෙතන ඉන්නවා.”
ලබන ඔක්තෝබර් 20 වැනිදා තෙක් අත්‍යවශ්‍යම පුද්ගලයන් පමණක් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන ලෙස ද මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මෙහිදී ඉල්ලා සිටියා.
ඊ පාස්පෝට් ටෙන්ඩරය මිලදී ගත් සමාගමෙන් චීපය රහිත පාස්පෝට් ප්‍රමාණයක් ලබන ඔක්තෝබර් 20 වැනිදාට පෙර ලැබෙන බවත් මේ අනුව සාමාන්‍ය පරිදි පාස්පෝට් මුද්‍රණය කළ හැකි බවත් ඇමැතිවරයා සඳහන් කළා.
ගුවන් ගමන් බලපත්‍ර හිස් පොත් ශේෂ වීම හා ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට උද්ගත වී තිබූ තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී ඇමැතිවරයා මේ බව සඳහන් සඳහන් කරනු ලැබුවා.
ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් 2003 වසරේ සිට වසර විස්සක කාලයක් හිස් පාස්පෝට් පොත් මිලියන 11 ක් ලබාදී ඇති බවත් විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීමේ අවශ්‍යතාව මත දෙස් විදෙස් සමාගම් වලින් ඊ පාස්පෝට් සඳහා ටෙන්ඩර් කැඳවූ බවත් ඒ අනුව ඉදිරිපත් වූ සමාගම් තුනකින් තෝරාගත් සමාගමකින් පාස්පෝට් පොත් ලක්ෂ පහක ප්‍රමාණයක් එක් හිස් පොතක් ඇමරිකන් ඩොලර් 5.6 ක ලංසුවකට මිලදී ගැනීමට තීරණය කළ බවත් ඇමැතිවරයා කියා සිටියා.
එම සමාගමේ ඇණවුම නොවැම්බර් මාසයේදී ලැබීමට තිබුණත් හිස් පාස්පෝට් ශේෂ වීම මත ඉලෙක්ට්‍රෝනික චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලූ බවයි ඇමතිවරයා සඳහන් කළේ.
“මේ වීසා එක ගැනත් පාස්පෝට් එක ගැනත්,මම අද කියනවා ඕනම එක්කෙනෙක් එක්ක ඕනම තැනක විවෘත විවාදයකට එන්න ලෑස්තියි.විජිත හේරත් මගේ මිත්‍රයා නමුත් බොරු කියලා තියෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.