විවිධ ජාවාරම්කරුවන්, වංචනිකයන් මෙරටින් රැගෙන ගිය වත්කම් දේපළ අත්පත් කරගැනීම සඳහා විධිවිධාන සැලසෙන අපරාධයකින් උත්පාදිත දේපල අත්පත් කරගැනීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරුණා.
මේ අනුව විදේශවල පවතින එවැනි දේපළ අත්පත් කරගැනීමට ඉදිරියේදී කටයුතු කරනු ඇති.
අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා.
පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ නානායක්කාර මහතා පැවසුවේ අපරාධයකින් උත්පාදනය කරන ලද දේපළ තහනම් කිරීමට අදාළව පවතින නෛතික ප‍්‍රතිපාදන මෙතෙක් තිබුණේ නැති බවයි.
මෙය එක තැනකට ගෙන ඒම සහ එහි රාමුවක් ඇති කිරීම මෙම පනත් කැටුම්පත ගෙන ඒමේ අරමුණ බවද ඔහු කියා සිටියා.
නීති විරෝධී ජාවාරම් වැළැක්වීම සහ අධෛර්යවත් කිරීම, නීති විරෝධී ජාවාරම් සහ අපරාධ මගින් දේපළ උපයා ගැනීම හෝ ප‍්‍රතිලාභ ලැබීම වැළැක්වීම, ත‍්‍රස්තවාදී සංවිධාන වලට අරමුදල් සැපයීම වැළැක්වීම, සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය අපරාධ සිදුකිරීම වැළැක්වීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් ප‍්‍රතිපාදන සැලසෙන බව අමාත්‍යවරයා සඳහන් කළා.
සොරකමින් උපයන ලද මුදල් හෝ දේපළ පිටරට තැන්පත් කර ඇත්නම් මේවා ගෙන ඒමට විධිවිධාන මෙම පනතේ ඇති බවද ඔහු කියා සිටියා.
මේ නීතිය ක‍්‍රියාත්මක කිරීමට පොලිසියට මෙන්ම අල්ලස් හෝ ¥ෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය ලැබෙන බව සඳහන්.
පනත ක‍්‍රියාත්මක කිරීමට සියලූ ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනු ලැබුවා.
මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ එම දේපළ නැවත මේ රටට රැගෙන ඒමේ වගකීම ජාතික ජන බලවේග රජයට තිබෙන බවයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා අපරාධකරුවන්ගේ දේපල අත්පත් කර ගැනීම සඳහා කළමනාකරණ අධිකාරියක්ද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මූලිකත්වයෙන් යුත් විමර්ශන කොට්ඨාසයක්ද පිහිටවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී අවධාරණය කර සිටියා.