60වැනි සංවත්සර පාඩම : ජවිපෙ ඉතිහාසයෙන් අතුගා දමන අදිසි හස්තය දැන් ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී ගිය රෝහණ විජේවීර විසින් නායකත්වය දුන් කොටසක් 1965 මැයි 14 වැණි දා ගාල්ලේ අක්මීමනදී වමේ දේශපලනයේ නව දිශානතියකට හැරවුමක් ගැනීමට සාකච්ඡාවකට එක් වූහ.

එම දේශපාලන සාකච්ඡාවේ අවසානය “ජනතා විමුක්ති පෙරමුණ” නම් වමේ නව රැඩිකල් දේශපාලන පක්ෂයේ ආරම්භයයි. එම දේශපාලන ව්‍යාපාරය වසර හැටක් තිස්සේ විවිධ සමාජ දේශපාලනික තත්ත්වයන් සමඟ ගැටෙමින් හා හැප්පෙමින් පැමිණි ගමනේ වසර හැටක් සම්පූර්ණ කෙරුණේ ඊයේ (මැයි 14) දිනයේය.

වඩා සුවිශේෂීම දේ වන්නේ රෝහණ විජේවීර ඇතුළු තරුණයන් කිහිප දෙනෙකු දුටු දේශපාලන සිහිනය මහ පොළොවේ යථාර්ථයක් වූයේත් වසර 60කට පසු වීමයි. එය සහමුලින්ම ඔවුන් අපේක්ෂා කළ දක්ෂිණාංශික කඳවුරට එරෙහි වාමාංශික දේශපාලනයේ සර්ව සම්පූර්ණ මුහුණුවර නොවීම වෙනම කතාවකි. එහෙත් කුමන හෝ අර්ථයකින් වසර 60කට පමණ පෙර පිහිට වූ ජනතා විමුක්ති පෙරමුණ නම් දේශපාලන පක්ෂය මේ රටේ බලයට පත් වී අවසානය.

එමෙන්ම වර්තමාන ජාතික ජන බලවේගය යනු අහම්බයක් නොව ඉතිහාසයේ අඛණ්ඩතාවයේ ඵලයකි. සටන්කාමී ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලීනයකු ලෙස දේශපාලනයට අවතීර්ණ වූ දැනට ඉතිරි වූ අතළොස්සෙන් එක් අයෙකු ලෙස අනුර කුමාර දිසානායක මෙරට ජනාධිපති ධුරයට පත් වීම ඒ අඛණ්ඩතාවයේම එක් අතුරු ඵලයක් ලෙස සැලකුවහොත් ඊයේ ජවිපෙ 60වැනි සංවත්සර වේදිකාවේ ජනාධිපතිවරයාගේ කතාව එකී ඉතිහාසයෙන් වියුක්තව කතා කළ නොහැකි එකකි.

ජනාධිපතිවරයා එහිදී පුන පුනා ප්‍රකාශ කළේ ඉතිහාසයෙන් ගැලවුණු වර්තමානයක් තිබිය නොහැකි බවයි. තවත් සරල කරන්නේ නම් ජනාධිපතිවරයා කිව්වේ මුල අමතක කළොත් ගමනක් නැහැ කියාය. ඇතැම් කවයන් එම ඉතිහාසය අමතක කර දේශපාලනය කරන්නැයි ජවිපෙට ආරාධනා කරන බව ජනාධිපතිවරයාගේ මුවින්ම ප්‍රකාශ වීම මෙහි වැදගත්ම කොටසයි.

එහි ප්‍රකාශිත අර්ථය දැනටමත් ජවිපෙට සිය මුල් අමතක කරන ලෙසට බලපෑමක් ඇති බවයි. එහෙත් එම බලපෑම කොහෙන්ද කවරෙක් විසින් කරන්නක්දැයි හෙළි නොකිරීමට ජනාධිපතිවරයා ප්‍රවේශම් විය. “සහෝදරයා ඒ ගැන නම් වැඩිය කතා කරන්න එපා” ජනාධිපතිවරයාගේ කතාවේදී ඔහුට බලපෑම් සිදු වන ආකාරය ජනාධිපතිරයා විසින්ම විස්තර කළේ ඒ ආකාරයෙනි. එම බලපෑම් එන්නේ ඔවුන්ගේ ළඟම, සමීපතම කවයක් තුළින් බව ජනාධිපතිවරයාගේ ටෝන් එකෙන් කිව හැක්කකි. සෘජුව හෝ වක්‍රව වේවා ජවිපෙ මේ වන විට පවතින්නේ එම කවයේ හා බලවේගය යටතේ බව සක්සුදක් සේ පැහැදිලිය.

ඊයේ ජනාධිපති අනුරගේ කතාව පවා එම අණසකට යටත් වූ එකකි. මක් නිසාද යත් ඉතිහාසය, ඉතිහාසය, ඉතිහාසය යැයි නැවත නැවතත් පුනරුච්චාරණය කරනු ලැබුවද, ජවිපෙ ඉතිහාසයේ වැදගත්ම සන්දර්භයන්, සන්ධිස්ථාන ඊට නායකත්වය දෙනු ලැබූ පුද්ගලයින් සහ එම ඓතිහාසික සංසිද්ධීන් වෙත පදනම් වූ දර්ශනය පිළිබඳ අබමල් රේණුවක සඳහනක් නොවීමයි. එය රෝහණ විජේවීර නාමය පවා නොඇසුනු, ඇසුණේ නම් ඒ සීමිත වාර එකක් හෝ දෙකක් පමණක් වන අපූරු ඉතිහාසය පිළිබඳ කතාවකි.

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගයට අනුවර්තනය වීමට පෙර ඔවුන්ගේ සංවත්සර යනු තනිකරම ඇඟේ මයිල් කෙළින් වෙන ඒවාය. රෝහණ විජේවීර ඇතුළු දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් ලේ දන් දුන් විරුවන්ගේ චිත්‍ර ඡායාරූප, ඇඟ සීතලවන විමුක්ති ගීතවලින් විචිත්‍රවත් වුණු සැමරුම්ය. විප්ලවීය ජවය ඉස්මතු කරන සැමරුම්ය. ඒවා මිනිසුන් අඬවා ගෙදර යැවූ සැමරුම්ය. එහෙත් ඊයේ සැමරුමේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කතාව හැරුණු විට ඇඟ කිළිපොළා යන කිසිවක් සිදු වූයේ නැත. විප්ලවීය නායක රෝහණ විජේවීරගේ සේයාරුවක් හෝ ඡායාවක්වත් එහි දක්නට නොවීය.

ඉතිහාසයේ අඛණ්ඩතාවයේ ඵලයක් ලෙස වර්තමානයේ ආණ්ඩු බලය හොබවන ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසය ඒ ආකාරයෙන් යට ගැසීමට බල කරන ඒ සහෝදර දෑත් කාගේද යන්න අප දන්නේ නැත. ජවිපෙ ඉතිහාසයෙන් අතුගා දැමීමට අවශ්‍ය සහෝදර බලවේගයක් දැන් ක්‍රියාත්මක බව පමණක් පැහැදිලිය.

  • උත්තරා –

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!